රුසියානු ජාතික ඡායාරූප ශිල්පිනී ජූලියා බුරුලේවා (Julia Buruleva) විසින් රෝස පැහැති ගුලාල් (Gulal) කුඩු ආලේප කර ඡායාරූපගත කළ ‘චංචල්’ නම් 67 හැවිරිදි ඇතින්නගේ මරණය සම්බන්ධයෙන් ඉන්දියාවේ සත්ව සුභසාධන ක්‍රියාකාරීන් අතර දැඩි මතභේදයක් හටගෙන තිබේ. මෙම ඡායාරූප පසුගිය පෙබරවාරි මාසයේදී සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වීමත් සමඟ සත්ව ලෝලීන්ගේ දැඩි විවේචනයට ලක්වූ අතර, ඉන් සුළු කාලයකට පසු ඇතින්න මියයාම මෙම විරෝධතාවලට ප්‍රධානතම හේතුව වී ඇත.
කෙසේ වෙතත්, නිකුත් කර ඇති පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව චංචල් ඇතින්නගේ මරණයට හේතුවී ඇත්තේ වයස්ගත වීම නිසා ඇතිවූ හෘදයාබාධයකි. පරීක්ෂණ මණ්ඩලයේ වෛද්‍ය අරවින්ද් මාතුර් පෙන්වා දෙන්නේ මෙම මරණය ස්වභාවික එකක් වන අතර එය රෝස පැහැය ආලේප කිරීමේ සිද්ධියට කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. එමෙන්ම අදාළ ඡායාරූපකරණය සිදුකර ඇත්තේ මරණයට වසරකට පමණ පෙර බවත්, ආලේප කළ වර්ණ විනාඩි 30කින් පමණ සෝදා හැර ඇති බවත් අලි ගම්මාන කමිටුවේ සභාපති බල්ලු ඛාන් ද තහවුරු කර තිබේ.
මෙම සිදුවීමත් සමඟ ඉන්දියාවේ අලි සංදර්ශන සහ අලි පිට යාම තහනම් කරන ලෙස ඉල්ලා PETA සංවිධානය සහ ජනප්‍රිය නිළි රූපාලි ගංගුලි වැනි අය අගමැතිවරයා වෙත ලිපි යොමු කරමින් සිය විරෝධය පළ කර ඇත. ඇතින්නගේ මරණය ස්වභාවික වුවද, වාණිජමය කටයුතු සඳහා සතුන් මෙලෙස භාවිත කිරීම සදාචාරාත්මකද යන්න පිළිබඳව ඉන්දියාව තුළ මේ වන විට දැවැන්ත දේශපාලන සහ සමාජීය සංවාදයක් නිර්මාණය වී තිබේ.














