ඉන්දියාවේ දේශීය ඉන්ධන සැපයුම සුරක්ෂිත කිරීමේ අරමුණින් ඩීසල් සහ ගුවන්යානා ඉන්ධන (ATF) අපනයනය මත පනවා ඇති ‘අනපේක්ෂිත ලාභ බද්ද’ (windfall tax) තවදුරටත් ඉහළ නැංවීමට එරට මුදල් අමාත්‍යාංශය අද (11) පියවර ගෙන තිබේ. ඒ අනුව ඩීසල් ලීටරයක් මත පැවති බද්ද රුපියල් 21.5 සිට 55.5 දක්වාත්, ගුවන්යානා ඉන්ධන ලීටරයක් මත බද්ද රුපියල් 29.5 සිට 42 දක්වාත් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා ඇත.
ඇමරිකා ඉරාන යුද්ධය හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන තෙල් ප්‍රවාහනය සීමා වීම නිසා ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල බැරලයක් ඩොලර් 100 ඉක්මවා ගොස් තිබේ. ඉන්දියාවේ බොරතෙල් අවශ්‍යතාවයෙන් 40%ක්ම සපුරා ගන්නේ මෙම සමුද්‍ර සන්ධිය හරහා බැවින්, එරට අභ්‍යන්තර ඉන්ධන මිල පාලනය කිරීමට සහ ගුවන් ගමන් ගාස්තු ඉහළ යාම වැළැක්වීමට රජය මෙම දැඩි තීරණ ගෙන ඇත. මීට අමතරව, ගෘහස්ථ ගුවන් සේවා සඳහා ඉන්ධන මිල මාසිකව ඉහළ දැමිය හැකි උපරිම සීමාව ද 25%ක් ලෙස රජය විසින් නියම කර තිබේ.














