ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා විසින් අද (03) විශාඛාපට්නම්හිදී ‘ප්‍රොජෙක්ට් 17A’ (Project 17A) යටතේ නිපදවන ලද අතිනවීන ‘INS තාරගිරි’ ස්ටෙල්ත් ෆ්‍රිගේට් (Stealth Frigate) යුධ නෞකාව නිල වශයෙන් ඉන්දීය නාවික හමුදා සේවයට එක් කරන ලදී. ඉන්දියාවේ නිෂ්පාදිත මෙම ප්‍රහාරක නෞකාව මුම්බායිහි පිහිටි ‘මැසගොන් ඩොක්’ (Mazagon Dock Shipbuilders Limited) ආයතනය විසින් නිපදවා තිබේ.
මෙම අවස්ථාවට ඉන්දීය නාවික හමුදාපති අද්මිරාල් දිනේෂ් කුමාර් ත්‍රිපාති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අනිල් චෞහාන් ඇතුළු ඉහළ පෙළේ නාවික නිලධාරීන් රැසක් සහභාගී වූහ. ඉන්දු-පැසිෆික් කලාපයේ ආරක්ෂක අභියෝග ඉහළ යමින් පවතින පසුබිමක, ඉන්දියාවේ නැගෙනහිර මුහුදු තීරයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම නව නෞකාව සේවයට එක් කිරීම ඉතා වැදගත් පියවරක් ලෙස සැලකේ.
රාජ්නාත් සිං මහතා මෙහිදී ප්‍රකාශ කළේ, ‘INS තාරගිරි’ නෞකාව සේවයට එක් කිරීම හරහා ඉන්දීය නාවික හමුදාවේ යුධමය සූදානම සහ මෙහෙයුම් හැකියාව තවදුරටත් ශක්තිමත් වන බවයි. ඉන්දියාව සිය නාවික බලඇණිය නවීකරණය කිරීම සඳහා ක්‍රියාත්මක කරන දැවැන්ත වැඩපිළිවෙළ යටතේ මෙම නෞකාව ඉන්දියාවේ දේශීය තාක්ෂණය සහ නිෂ්පාදන හැකියාව ලොවට විදහා දක්වන්නකි.














