ඉන්දියානු මධ්‍යම රජය විසින් ට්‍රැක්ටර්, අස්වනු නෙළන යන්ත්‍ර (Harvesters) සහ ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සඳහා නව පරිසර හිතකාමී විමෝචන ප්‍රමිතීන් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. ඉන්දීය මාර්ග ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය (MoRTH) විසින් නිකුත් කරන ලද කෙටුම්පත් නිවේදනයකට අනුව, 1989 මෝටර් රථ රීතිවල 115A රීතිය දැඩි කරමින් ‘TREM Stage V’ සහ ‘CEV Stage V’ යන නව ප්‍රමිතීන් හඳුන්වා දීමට නියමිත බව අද (මාර්තු 03) වාර්තා විය.
කිලෝවොට් 56 සිට 560 දක්වා වන ට්‍රැක්ටර් එන්ජින් කාණ්ඩයේ අංශුමය ද්‍රව්‍ය (Particulate Matter) පිටවීම 40% කින් අඩු කළ යුතු අතර, එය 2026 ඔක්තෝබර් 01 වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව ඇත. එසේම එන්ජිමකින් පිටවන දුමාරයේ බර මැනීමට අමතරව, පිටවන අංශු සංඛ්‍යාව පාලනය කිරීම ද (Particle Number Control) නිෂ්පාදකයින්ට ප්‍රථම වතාවට අනිවාර්ය කර ඇති බැවින් ඔවුන්ට වඩාත් දියුණු විමෝචන පාලන තාක්ෂණයන් වෙත යොමු වීමට සිදුවනු ඇත. මීට අමතරව කිලෝවොට් 37-56 කාණ්ඩයේ යන්ත්‍රෝපකරණ සඳහා ද මෙවැනිම 40% ක දැඩි කිරීමක් යෝජනා කර ඇති අතර, ඒ සඳහා නිෂ්පාදකයින්ට සූදානම් වීමට වැඩි කාලයක් ලබා දී තිබේ.
මෙම යෝජිත කෙටුම්පත සම්බන්ධයෙන් මහජනතාවට සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම සඳහා දින 30 ක කාලයක් ලබා දී ඇති අතර, මෙම පියවර හරහා කෘෂිකාර්මික හා ඉදිකිරීම් අංශවලින් සිදුවන වායු දූෂණය අවම කිරීම රජයේ අපේක්ෂාවයි.















