ඉරානය සහ ඇමෙරිකානු-ඊශ්‍රායල හමුදා අතර මැදපෙරදිග කලාපයේ පවතින දැඩි යුදමය වාතාවරණය හමුවේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) වෙසෙන සියලුම ඉන්දීය ජාතිකයන් සහ විදේශිකයන් වෙත අබුඩාබි හි පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය විසින් විශේෂ ආරක්ෂක උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. යුදමය සිදුවීම් වාර්තා කිරීමේදී සහ සමාජ මාධ්‍ය භාවිතයේදී ප්‍රවේශම් වන ලෙස එහිදී අවධාරණය කර ඇත.
ඉන්දීය තානාපති කාර්යාලය විසින් නිකුත් කළ ප්‍රධාන උපදෙස් මෙසේය. අනතුරු ඇඟවීමේ සංඥා (Warning alerts) නිකුත් කළ වහාම ආරක්ෂිත ස්ථාන කරා ගමන් කළ යුතු අතර, කිසිදු හේතුවක් මත ඡායාරූප හෝ වීඩියෝ ලබාගැනීම සඳහා එළිමහනට නොපැමිණිය යුතුය. ප්‍රහාර එල්ල වූ ස්ථාන, විනාශ වූ ගොඩනැගිලි හෝ මිසයිල කොටස් වැටී ඇති ස්ථානවල දර්ශන ලබාගැනීම සහ ඒවා සමාජ මාධ්‍ය ජාලවල ප්‍රචාරය කිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකිය යුතුය. එමෙන්ම ගුවන් තොටුපොළවල් තුළ ඡායාරූප සහ වීඩියෝ ලබාගැනීම ද දැඩි ලෙස තහනම් කර ඇත.
මෙම උපදෙස් මාලාව නිකුත් කර ඇත්තේ ඉරානය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර කිහිපයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේටය, සෞදි අරාබිය සහ බහරේනය විසින් ව්‍යර්ථ කර ඇති පසුබිමකය. ෆුජයිරා (Fujairah) තෙල් ගබඩා සංකීර්ණය අසලට ද ප්‍රහාරක කොටස් පතිත වී ඇති බව වාර්තා වේ. එමීර් රාජ්‍යයේ නීතියට අනුව මෙවැනි සංවේදී දර්ශන අවසරයකින් තොරව පටිගත කිරීම සහ ප්‍රචාරය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බැවින්, සියලු දෙනා දේශීය නීතිවලට ගරු කළ යුතු බව තානාපති කාර්යාලය වැඩිදුරටත් සිහිපත් කරයි.














