නවදිල්ලියේ පැවැත්වෙන AI Impact Summit 2026 සමුළුවට සමගාමීව අදහස් දක්වමින්, ඉන්දියාවේ අභිනව ඇමරිකානු තානාපති සර්ජියෝ ගෝර් මහතා ප්‍රකාශ කළේ ඉන්දියාව සිය බලශක්ති අවශ්‍යතා සඳහා වන මූලාශ්‍ර “විවිධාංගීකරණය” (Diversify) කරමින් පවතින බවයි. විශේෂයෙන්ම රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීම අවම කරමින් වෙනත් විකල්ප වෙත යොමු වීමට ඉන්දියාව ගෙන ඇති තීරණය ඇමරිකාව මෙහිදී අගය කර තිබේ.
ඇමරිකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් නව වෙළඳ එකඟතාවන්ට අනුව, රුසියාවෙන් තෙල් මිලදී ගැනීම අවම කිරීමට ඉන්දියාව එකඟ වී ඇත. ඒ වෙනුවට වෙනිසියුලාවෙන් බොරතෙල් මිලදී ගැනීම සඳහා වන සාකච්ඡා මේ වන විට සාර්ථකව සිදු වෙමින් පවතින බව තානාපතිවරයා තහවුරු කළේය.
ට්‍රම්ප් පරිපාලනයේ ඉහළ නිලධාරියෙකු වන සර්ජියෝ ගෝර් මහතා වැඩිදුරටත් සඳහන් කළේ, දෙරට අතර සකස් කර ඇති නව වෙළඳ ගිවිසුම ඉතා ඉක්මනින් (Soon) නිල වශයෙන් අත්සන් කිරීමට නියමිත බවයි. මෙමගින් දෙරට අතර පවතින ආර්ථික සහ උපායමාර්ගික සබඳතා නව මානයකට ගෙන යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
රුසියානු – යුක්රේන අර්බුදය හමුවේ රුසියානු තෙල් මත යැපීම අවම කරන ලෙස බටහිර රටවල් ඉන්දියාවට කාලයක සිට බලපෑම් කළ අතර, මෙම නව ගිවිසුම හරහා ඉන්දියාව සිය බලශක්ති ප්‍රතිපත්තියේ කැපී පෙනෙන වෙනසක් සිදු කර ඇති බව පෙනී යයි.
මෙම නව වෙළඳ ගිවිසුම අත්සන් කිරීමත් සමඟ ඉන්දියාවට ඇමරිකානු බලශක්ති නිෂ්පාදන සහ තාක්ෂණය ලබා ගැනීමට වැඩි ඉඩකඩක් විවෘත වනු ඇත.














