මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ඉන්දියාව තුළ ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) හිඟයක් ඇති විය හැකි බවට පැතිර යන කටකතා හේතුවෙන් පාරිභෝගිකයන් කලබලයට පත්ව (Panic booking) ගෑස් ඇණවුම් කිරීම 59% කින් පමණ ඉහළ ගොස් තිබේ. දෛනිකව මිලියන 5.5ක් පමණ වූ ඇණවුම් සංඛ්‍යාව ඊයේ වන විට මිලියන 8.8 දක්වා ඉහළ ගොස් ඇති බව ඉන්දීය ඛනිජ තෙල් හා ස්වභාවික වායු අමාත්‍යාංශය පවසයි.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ පනත (Essential Commodities Act) යටතේ රජය විශේෂ නියෝගයක් නිකුත් කර ඇත. ඒ අනුව, නිවෙස්වලට නළ මාර්ගයෙන් ස්වභාවික වායු (PNG) පහසුකම ලබාගෙන ඇති පුද්ගලයන්ට තවදුරටත් දේශීය LPG සිලින්ඩර භාවිත කිරීම තහනම් කර තිබේ. යම් පුද්ගලයෙකු සතුව PNG සහ LPG යන පහසුකම් දෙකම පවතී නම්, වහාම ක්‍රියාත්මක වන පරිදි සිය LPG සම්බන්ධතාවය රජයට භාර දිය යුතු බව එම නියෝගයේ සඳහන් වේ. කෙසේ වෙතත්, මේ දක්වා රටේ කිසිදු ප්‍රදේශයකින් ගෑස් තොග අවසන් වූ බවට වාර්තා වී නොමැති බවත්, සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමට පියවර ගෙන ඇති බැවින් කලබල නොවන ලෙසත් රජය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














