හරියටම මීට වසර 115කට පෙර, එනම් 1911 පෙබරවාරි 18 වන දින, ලෝක සන්නිවේදන ඉතිහාසය වෙනස් කළ සුවිශේෂී සිදුවීමක් ඉන්දියාවේදී සනිටුහන් විය. එදින ඉන්දියාවේ අලහබාද් සිට නයිනි දක්වා සිදුකළ මිනිත්තු 13ක ගුවන් ගමනත් සමඟ ලොව ප්‍රථම නිල ගුවන් තැපැල් සේවාව ආරම්භ වූ අතර අද (පෙබරවාරි 18) එම ඓතිහාසික මොහොත සමරමින් ලෝක ගුවන් තැපැල් දිනය (World Airmail Day) සැමරේ.
එදින වයස අවුරුදු 23ක් වූ හෙන්රි පිකට් (Henri Pequet) නම් ප්‍රංශ ජාතික ගුවන් නියමුවා සිය ‘හම්බර්’ (Humber) වර්ගයේ ද්විත්ව තටු ගුවන් යානයෙන් ලිපි 6,500ක් රැගෙන යමුනා නදියට ඉහළින් පියාසර කළේය. අලහබාද්හි පැවැති ප්‍රදර්ශනයක් මූලික කරගනිමින් ආරම්භ වූ මෙම පියාසැරිය, ලෝකයේ බලගතු ගුවන් තැපැල් සේවාවක උපත ලෙස සැලකේ.
මෙම ඓතිහාසික ගමනේදී රැගෙන ගිය ලිපි අතර පවතින දුර්ලභ මුද්‍රා සහ ලිපි සම්බන්ධයෙන් “Aerophilately” (ගුවන් මුද්දර විද්‍යාව) ක්ෂේත්‍රයේ විශාල උනන්දුවක් පවතී. ඉන්දීය මුද්දර එකතු කරන්නෙකු වන පියුෂ් ඛයිටන් (Piyush Khaitan) මහතා පවසන පරිදි, එදින භාවිත කළ කළු පැහැති මුද්‍රාව (Black Cachet) සහිත ලිපි ලොව පවතින්නේ 22ක් පමණි. ඒවා එකල සිටි සුවිශේෂී පුද්ගලයන් වෙනුවෙන් පමණක් වෙන් කර තිබූ බව විශ්වාස කෙරේ.
ඛයිටන් මහතා සතු එකතුවෙහි ඇති තවත් සුවිශේෂී වස්තුවක් වන්නේ ලොව ප්‍රථම “ගෙවීම් අඩු” (Underpaid) ගුවන් තැපැල් ලිපියයි. ප්‍රංශය වෙත යැවීමට අදාළ මුදලට වඩා අඩු මුදලක් ගෙවා තිබූ එම ලිපිය ද එදිනම පියාසර කර තිබීම විශේෂත්වයකි. ඩිජිටල් සන්නිවේදනය පවතින වර්තමානයක, මීට වසර 115කට පෙර මිනිත්තු 13කින් ලෝකය හකුළුවාලූ මෙම ගමන සැබෑ විප්ලවයක් ලෙස සැලකේ.














