ඉන්දියාවේ ආර්ථිකයේ ප්‍රධානතම බලවේගය වන මධ්‍යම පන්තිය මේ වන විට ස්වයංක්‍රීයකරණය, කෘත්‍රිම බුද්ධිය (AI) සහ ඉහළ යන ජීවන වියදම හමුවේ දැඩි අර්බුදයකට ලක්ව ඇති බව අලුත්ම වාර්තා පෙන්වා දෙයි. අධ්‍යාපනය සහ රැකියාව තිබූ පමණින් පෙර පරිදි ස්ථාවර ජීවිතයක් ගත කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති අතර, බොහෝ දෙනා සිය වියදම් පියවා ගැනීම සඳහා අවදානම් සහගත කොටස් වෙළඳපොළ ගනුදෙනු සහ ණය ලබා ගැනීමට යොමු වී සිටිති.
වයිට් කොලර් (White-collar) රැකියා උත්පාදනය 2020 වසරට පෙර පැවති 11% සිට මේ වන විට 1% දක්වා පහත වැටී ඇති අතර, කෘත්‍රිම බුද්ධිය හේතුවෙන් ඉදිරි වසර කිහිපය තුළ තොරතුරු තාක්ෂණ සහ පාරිභෝගික සේවා ක්ෂේත්‍රයේ රැකියා මිලියන තුනක් පමණ අහිමි වීමේ අවදානමක් පවතී. අයි.අයි.ටී (IIT) වැනි ඉන්දියාවේ ප්‍රමුඛතම තාක්ෂණික ආයතනවල උපාධිධාරීන් පවා නිසි රැකියා නොමැතිව පීඩා විඳින අතර, උපාධිධාරීන්ගේ විරැකියා අනුපාතය අධ්‍යාපනයක් නොලැබූ අයට වඩා නව ගුණයකින් ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි.
ජීවන වියදම සෑම වසර අටකට වරක්ම දෙගුණ වන අතර ආහාර, සෞඛ්‍ය සහ අධ්‍යාපන වියදම් වාර්ෂිකව 9%ත් 14%ත් අතර ප්‍රමාණයකින් ඉහළ යමින් පවතී. මෙම තත්ත්වය හමුවේ ඉන්දීය පවුල්වලින් අඩක් පමණ පෞද්ගලික ණය ලබාගෙන ඇති අතර, ඔවුන්ගේ ආදායමෙන් 40%ක් පමණ වැය වන්නේ එම ණය වාරික ගෙවීමටයි. මධ්‍යම පන්තියේ මිලදී ගැනීමේ ශක්තිය පහත වැටීම හේතුවෙන් වාහන සහ පාරිභෝගික භාණ්ඩ අලෙවිය ද පසුගිය වසර කිහිපය තුළ විශාල ලෙස අඩුවී ඇති බව මෙම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.














