අසරණ දරුවන්ගේ නිහඬ වේදනාව කලාව හරහා ලෝකයට හඬගා කියමින්, ඉන්දියාවේ මුම්බායි නගරයේ මුඩුක්කු සහ ග්‍රාමීය ප්‍රදේශවල දරුවන්ගේ ජීවිත ආලෝකවත් කළ රූබල් නාගී (Rouble Nagi), මෙවර ලොව හොඳම ගුරුවරියට හිමි ඩොලර් මිලියනයක “Global Teacher Prize” සම්මානයෙන් පිදුම් ලබා තිබේ. පසුගිය මාසයේ ඩුබායි හි පැවැති ලෝක රාජ්‍ය සමුළුවේදී (World Governments Summit) ඩුබායි ඔටුන්න හිමි කුමරු වන ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් අතින් ඇය මෙම ගෞරවණීය සම්මානය ලබා ගත්තාය.
වසර 20 ක් පුරා දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කැපවී සිටින ඇය, කලාව මාධ්‍යයක් කරගනිමින් ඉන්දියාව පුරා ඉගෙනුම් මධ්‍යස්ථාන 800 කට අධික ප්‍රමාණයක් ස්ථාපිත කර ඇත. පාසල් අධ්‍යාපනය අහිමි වූ, ළමා ශ්‍රමිකයන් ලෙස කටයුතු කරන සහ අන්ත දිළිඳු පවුල්වල දරුවන් දහස් ගණනක් ඇයගේ මගපෙන්වීම යටතේ යළිත් අකුරු කිරීමට යොමු වී සිටිති. ඇයගේ මෙම වැඩපිළිවෙළ නිසා දරුවන් පාසල් හැරයාමේ අනුපාතය 50% කට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු වී ඇති බව වාර්තා වේ.
තමන්ට ලැබුණු මෙම ඩොලර් මිලියනයක ත්‍යාග මුදලින් කාශ්මීරයේ දැවැන්ත වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට රූබල් බලාපොරොත්තු වෙයි. පරිගණක පුහුණුව, මැහුම් ශිල්පය, හෙද පුහුණුව සහ රූපලාවන්‍ය වැනි පාඨමාලා රැසක් එකම වහලක් යටදී නොමිලේ ලබා දීමට ඇය සැලසුම් කර ඇත. “ගුරුවරුන් යනු ලෝකය වෙනස් කළ හැකි පිරිසක්, මම එක් දරුවෙකුගේ ජීව විද්‍යාත්මක මව වුවත්, ආත්මීය වශයෙන් දරුවන් මිලියන ගණනකගේ මවක්” යැයි ඇය ඉතා නිහතමානීව පවසයි.
කලාව යනු හුදෙක් සිතුවම් ඇඳීම පමණක් නොව, දරුවන්ගේ සිතේ සිරවී ඇති බිය සහ වේදනාව පිටතට ගෙන ඒමට ඇති ප්‍රබලම මෙවලම බව ඇය විශ්වාස කරයි. වරක් අඳුරු කාමරයක සිරවී සිටි කුඩා දරුවෙකු තමන් අත්විඳි පීඩාව සිතුවමකට නැගූ අයුරු සිහිපත් කරන ඇය, එවැනි දරුවන්ගේ ජීවිතවලට සතුට සහ බලාපොරොත්තුව රැගෙන ඒම තම එකම අරමුණ බව අවධාරණය කරයි.














