කොළඹදී අද (15) පැවැත්වෙන තීරණාත්මක පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගයේදීත් ඉන්දීය ක්‍රීඩකයින් පකිස්ථාන ක්‍රීඩකයින් සමඟ අතට අත නොදෙනු ඇති බව ‘ඉන්දියන් එක්ස්ප්‍රස්’ වාර්තාවක් උපුටා දක්වමින් වාර්තා වේ. පකිස්ථානය සම්බන්ධයෙන් ඉන්දියාව අනුගමනය කරන මෙම දැඩි ප්‍රතිපත්තිය අද තරගයේදීත් නොවෙනස්ව පවතිනු ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ. මේ අනුව කාසියේ වාසිය අවස්ථාවේදී හෝ තරගයෙන් පසුව ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් පකිස්ථාන නායක සල්මන් අලි අගා සමඟ අතට අත දීමෙන් වැළකී සිටීමට බොහෝ දුරට ඉඩ පවතින බව කියැවේ.
2025 වසරේදී සිදුවූ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව පැවති ආසියානු කුසලානයේ සිට ඉන්දීය කණ්ඩායම මෙම තීරණය ක්‍රියාත්මක කර ඇති අතර එතැන් සිට ජාත්‍යන්තර තරගවලදී ඉන්දීය ක්‍රීඩකයින් පකිස්ථාන ක්‍රීඩකයන් සමඟ අතට අත දීමෙන් වැළකී සිටියි. ඊයේ (14) පැවති මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයට ඍජු පිළිතුරක් ලබා නොදුන් ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් ප්‍රකාශ කළේ අතට අත දීමට වඩා පළමුව තරගය ක්‍රීඩා කිරීම වැදගත් බවයි. ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණයට හානියක් වන බවට විවිධ පාර්ශ්වයන් විවේචනය කරන මෙම තත්ත්වය හමුවේ අද තරගයේ උණුසුම තවත් වැඩි වී තිබේ.














