ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින සබඳතා තවදුරටත් න්‍යෂ්ටික ගැටුමකට මග පෑදිය හැකි අවදානම් මට්ටමක පවතින බව ඇමරිකානු බුද්ධි අංශ ප්‍රජාව (U.S. Intelligence Community) විසින් එළිදැක්වූ 2026 වාර්ෂික තර්ජන ඇගයීමේ වාර්තාවේ සඳහන් වේ. රටවල් දෙකම සෘජු යුද්ධයකට එළඹීමට උත්සාහ නොකළද ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හරහා මෙවැනි අර්බුදකාරී තත්ත්වයන් ඕනෑම මොහොතක නිර්මාණය විය හැකි බව එම වාර්තාව පෙන්වා දෙයි.
2025 අප්‍රේල් 22 වනදා ජම්මු සහ කාශ්මීරයේ පහල්ගාම් (Pahalgam) හිදී සංචාරකයින් ඉලක්ක කර එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මියගිය අතර එය දෙරට අතර උණුසුම් තත්ත්වයක් ඇති වීමට ප්‍රබල හේතුවක් විය. ඊට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාව විසින් ‘Operation Sindoor’ නමින් පාකිස්ථානයේ සහ පාකිස්ථානය පාලනය කරන කාශ්මීර ප්‍රදේශයේ (PoK) ත්‍රස්ත කඳවුරු 9ක් ඉලක්ක කර ගනිමින් ප්‍රබල ගුවන් ප්‍රහාර එල්ල කරන ලදී. මෑතකදී ඇති වූ මෙම න්‍යෂ්ටික උණුසුම සමනය කිරීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීම තීරණාත්මක වූ බවත් එමගින් යුදමය තත්ත්වය වළක්වා ගැනීමට හැකි වූ බවත් බුද්ධි වාර්තාවේ සඳහන් වේ.
එසේම පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානයේ තලේබාන් රජය අතර සබඳතා ද මේ වන විට දැඩි ලෙස පළුදු වී ඇත. 2026 පෙබරවාරි මාසයේදී ඉස්ලාමාබාද්හි ෂියා පල්ලියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු පාකිස්ථානය විසින් ඇෆ්ගනිස්ථානය තුළට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර ඊට ප්‍රතිචාර ලෙස තලේබාන් සංවිධානය ද පාකිස්ථාන හමුදා මුරපොළවල් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර තිබේ. දකුණු ආසියානු කලාපය තුළ ISIS-K (Islamic State – Khorasan Province) ත්‍රස්තවාදීන් තවදුරටත් සිය බලය පවත්වාගෙන යන අතර ඔවුන් ජාත්‍යන්තර මට්ටමේ ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරමින් සිටින බවට ද අනතුරු අඟවා ඇත.
පාකිස්ථානය විසින් නිපදවන නවීන මිසයිල තාක්ෂණය මගින් දකුණු ආසියාවෙන් ඔබ්බට පවා ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතින බවත් එය අනාගතයේදී ඇමරිකාවට පවා තර්ජනයක් විය හැකි බවත් ඇමරිකානු බුද්ධි අංශ අධ්‍යක්ෂිකා තුල්සි ගැබාර්ඩ් (Tulsi Gabbard) මහත්මිය ප්‍රකාශ කර තිබේ.














