ඇමෙරිකානු සබ්මැරීන ප්‍රහාරයකින් ‘IRIS ඩේනා’ නෞකාව ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ මුහුදු සීමාවේදී විනාශ වීමට දින කිහිපයකට පෙර, ඉරාන නාවික හමුදාවට අයත් තවත් නෞකාවක් වන ‘IRIS ලවාන්’ (IRIS Lavan) සඳහා ආරක්ෂාව සැපයීමට ඉන්දියාව පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. ඉරාන රජය කළ විශේෂ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් ඉන්දීය බලධාරීන් මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව, ජාත්‍යන්තර නාවික සමාලෝචනයක් (International Fleet Review) සඳහා ඉන්දීය සාගර කලාපයට පැමිණ සිටි මෙම නෞකාවට ඉන්දියාවේ කොචි (Kochi) වරායට ඇතුළු වීමට අවසර ලබා දී ඇත. ඉකුත් මාර්තු 01 වැනිදා කොචි වරායට සේන්දු වූ මෙම නෞකාවේ සිටි නාවිකයන් 183 දෙනෙකුට ඉන්දීය නාවික හමුදා මධ්‍යස්ථානවල නවාතැන් සහ අවශ්‍ය පහසුකම් සපයා දී ඇති බව වාර්තා වේ.
ඉන්දීය සාගර කලාපය තුළ පවතින උග්‍ර යුදමය තත්ත්වය හමුවේ ඉන්දියාව ගත් මෙම තීරණය කලාපීය ආරක්ෂාව සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අතින් ඉතා වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ. ‘IRIS ඩේනා’ නෞකාව ප්‍රහාරයට ලක්වූ අවස්ථාවේ ඉන් මියගිය සහ තුවාල ලැබූ නාවිකයන් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා ද ඉන්දීය නාවික හමුදාව සිය සහයෝගය ලබා දුන් බව මීට පෙර වාර්තා විය.














