අද (04) දින ඉන්දියානු රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 92.30 දක්වා පහත වැටීම ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම අවප්‍රමාණය වීමයි. මෙයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින යුද්ධය නිසා ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල දින දෙකක් තුළ 12% කින් ඉහළ යාමයි. ඉන්දියාව සිය බොරතෙල් අවශ්‍යතාවයෙන් 80% කට වඩා ආනයනය කරන බැවින්, තෙල් මිල ඉහළ යාම නිසා ඉන්දියාවේ වෙළඳ හිඟය (Trade Deficit) සීඝ්‍රයෙන් පුළුල් වනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ බිය පළ කරති. ආයෝජකයන් සිය ප්‍රාග්ධනය ඉන්දියානු කොටස් වෙළඳපොළෙන් ඉවත් කර ගැනීම සහ ආරක්ෂිත ආයෝජන ලෙස සැලකෙන ඩොලර් සහ රත්තරන් වෙත යොමු වීම ද රුපියල දුර්වල වීමට සෘජුවම බලපා තිබේ.අනාගතය පිළිබඳව අනාවැකි පළ කරන විශ්ලේෂකයන් පවසන්නේ, මැදපෙරදිග යුද ගැටුම් තවදුරටත් දිග්ගැස්සුණහොත් ඉන්දියානු රුපියල ඩොලරයට සාපේක්ෂව 93 සීමාව දක්වා තවදුරටත් පහත වැටිය හැකි බවයි. මෙය පාලනය කිරීම සඳහා ඉන්දියානු මහ බැංකුව (RBI) මැදිහත් වී ඩොලර් අලෙවි කරමින් රුපියල ස්ථාවර කිරීමට උත්සාහ කළ ද, තෙල් මිල බැරලයක් ඩොලර් 85 සීමාව ඉක්මවා ගියහොත් එය පාලනය කිරීම අසීරු වනු ඇත.















