“නව අවස්ථා හඳුනාගැනීම සහ නව සබඳතා ගොඩනැගීම” (Identifying New Opportunities and Forging New Bonds) යන තේමාව යටතේ සංවිධානය වූ තෙවන ඉන්දු – ශ්‍රී ලංකා ආරක්ෂක කර්මාන්ත සම්මන්ත්‍රණය ඊයේ (25) කොළඹදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා. ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ මෙම සම්මන්ත්‍රණය සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha) මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් එක්ව සිටියා.
මෙහිදී අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළේ දෙරට අතර පවතින ආරක්ෂක හවුල්කාරිත්වය අන්‍යොන්‍ය විශ්වාසය සහ පොදු කලාපීය ආරක්ෂක අවශ්‍යතා මත පදනම් වූ දීර්ඝකාලීන සබඳතාවක් බවයි. විශේෂයෙන්ම මැදපෙරදිග පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ ඉන්දීය සාගර කලාපයේ මුහුදු මාර්ගවල ආරක්ෂාව තහවුරු කිරීමටත්, ආරක්ෂක උපකරණ නිෂ්පාදන ක්ෂේත්‍රයේ නව තාක්ෂණික සහයෝගීතාවන් ඇති කර ගැනීමටත් මෙම සම්මන්ත්‍රණය වැදගත් වේදිකාවක් වූ බව සඳහන්. ත්‍රිවිධ හමුදාපතිවරුන්, ආරක්ෂක ක්ෂේත්‍රයේ විශේෂඥයන් සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවලදී දෙරටේම ආරක්ෂක කර්මාන්තයන්හි අනාගත ආයෝජන අවස්ථා පිළිබඳව ද අවධානය යොමු කෙරුණා.













