ඉන්දීය කොන්ග්‍රස් පක්ෂය සහ තමිල්නාඩුවේ DMK පක්ෂය එක්ව කච්චතීවු දූපත ශ්‍රී ලංකාවට පවරා දීමෙන් ඉන්දියාව සතු සාගරික අයිතීන් පාවා දී ඇති බව භාරතීය ජනතා පක්ෂ (BJP) පාර්ලිමේන්තු මන්ත්‍රී නිශිකාන්ත් ඩූබේ මහතා අද (23) චෝදනා කළේය. ඉන්දීය පාර්ලිමේන්තුවෙන් බැහැරව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, 1974 සහ 1976 වසරවලදී එවකට සිටි ඉන්දීය අගමැතිවරුන් සහ තමිල්නාඩුවේ හිටපු මහ ඇමති කරුණානිධි මහතා එක්ව සිදු කළ මෙම ගිවිසුම් නිසා අද වන විට ඉන්දීය ධීවරයන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බවයි.
ජවහර්ලාල් නේරු යුගයේ සිට මන්මෝහන් සිං යුගය දක්වා පාලනය කළ රජයන් විසින් ගනු ලැබූ වැරදි තීරණ නිසා ඉන්දීය ධීවරයන්ට සිය සාගරික පාලනය අහිමි වී ශ්‍රී ලංකා අත්අඩංගුවට පත්වීමට සිදුව ඇති බව ඩූබේ මහතා පෙන්වා දුන්නේය. 1976 මාර්තු 23 වැනිදා අත්සන් කරන ලද ගිවිසුම මඟින් ඉන්දියාවේ පාලනය තිබූ මුහුදු සීමාවන් ශ්‍රී ලංකාවට පවරා දුන් බවත්, මෙයට අදාළ සියලුම රහස්‍ය ලේඛන සහ සාකච්ඡා සටහන් (Minutes) තමන් සතු බවත් ඔහු අනාවරණය කළේය. ඉදිරි මැතිවරණයේදී කොන්ග්‍රසය සහ DMK පක්ෂය මේ සම්බන්ධයෙන් මහජනතාවට පිළිතුරු දිය යුතු බව ද ඔහු අවධාරණය කළේය.
මීට අමතරව, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දීය ප්‍රජාතන්ත්‍රවාදය තුළ අත්කරගෙන ඇති ඓතිහාසික ජයග්‍රහණ සහ ඔහුගේ දීර්ඝ පාලන කාලය පිළිබඳව ද ඩූබේ මහතා මෙහිදී ප්‍රශංසා කළේය. සාමාන්‍ය පවුලකින් පැමිණි මෝදි මහතා කෙරෙහි මහජනතාව තබා ඇති විශ්වාසය ඉන්දියාවේ අභිමානයක් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














