බටහිර ආසියාවේ යුදමය තත්ත්වය සහ රුසියානු-යුක්රේන යුද්ධය වැනි වර්තමාන භූ-දේශපාලනික අස්ථාවරත්වයන් හමුවේ අනාගත යුධ පිටිය ජය ගැනීමට ඩ්‍රෝන සහ ඩ්‍රෝන නාශක තාක්ෂණය තීරණාත්මක සාධකයක් වනු ඇති බව ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා අද (මාර්තු 19) ප්‍රකාශ කළේය. ඒ අනුව 2030 වසර වන විට ඉන්දියාව ලෝකයේ ප්‍රමුඛතම ඩ්‍රෝන නිෂ්පාදන මධ්‍යස්ථානයක් (Global Hub) බවට පත් විය යුතු බව ඔහු අවධාරණය කළේය.
ඩ්‍රෝන යානා පමණක් නොව ඒවායේ මෘදුකාංග, එන්ජින් සහ බැටරි ඇතුළු සියලුම උපාංග ඉන්දියාව තුළම නිෂ්පාදනය කිරීමේ අවශ්‍යතාවය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. දැනට ලොව බොහෝ රටවල් ඩ්‍රෝන උපාංග සඳහා චීනය මත යැපෙන බවත් ඉන්දියාව එම තත්ත්වයෙන් මිදී ස්වයංපෝෂිත විය යුතු බවත් ඔහු සඳහන් කළේය. උසස් නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ පැවැති සම්මන්ත්‍රණයකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
2047 වසරේ ඉන්දියාවේ සියවන නිදහස් සැමරුම ඉලක්ක කරගනිමින් ඉන්දීය සන්නද්ධ බලකායන් නවීකරණය කිරීම සඳහා “ආරක්ෂක බලකා දැක්ම 2047” (Defence Forces Vision 2047) නමින් මාර්ග සිතියමක් සකස් කර ඇත. මෙහි ප්‍රධාන අදියර තුනක් පවතී:
2030 දක්වා වූ සංක්‍රාන්ති යුගය (Era of transition), 2030-40 දක්වා වූ ස්ථාවර වීමේ යුගය (Era of consolidation) සහ 2040-47 දක්වා වූ විශිෂ්ටත්වයේ යුගය (Era of excellence) යනුවෙන් මෙය ක්‍රියාත්මක වේ. මෙම වැඩපිළිවෙළ යටතේ විශේෂිත ඩ්‍රෝන බලකායක් (Drone force), දත්ත බලකායක් සහ ජාතික ගුවන් ආරක්ෂක පද්ධතියක් (Mission Sudarshan Chakra යටතේ) පිහිටුවීමට ද සැලසුම් කර තිබේ. ඉන්දියාවේ මෙම ආරක්ෂක නවීකරණය කලාපීය බල තුලනයට මෙන්ම ශ්‍රී ලංකාව වැනි අසල්වැසි රටවල ආරක්ෂක සහයෝගීතාවයට ද වැදගත් වනු ඇත.














