බටහිර ආසියානු කලාපයේ (මැදපෙරදිග) පවතින යුදමය ගැටුම් දෙවන මාසයට එළැඹීමත් සමඟ, එම කලාපයේ සිටින ඉන්දීය නාවිකයන් සහ සිසුන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය සඳහා ඉන්දීය රජය විශේෂ අවධානයක් යොමු කර තිබේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය (MEA) අද (30) ප්‍රකාශ කළේ, කලාපයේ වෙසෙන ඉන්දීය ප්‍රජාවගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ ප්‍රමුඛතම කාර්යය බවයි.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඒකාබද්ධ ලේකම් (ගල්ෆ් කලාපීය) අසීම් මහාජාන් මහතා සඳහන් කළේ, කලාපය පුරා ඇති නෞකාවල සේවය කරන ඉන්දීය කාර්ය මණ්ඩල වෙත අවශ්‍ය සහාය ලබා දීමට ඉන්දීය තානාපති කාර්යාල අඛණ්ඩව කටයුතු කරන බවයි. විශේෂයෙන්ම වර්ධනය වන යුදමය වාතාවරණය හමුවේ ඉන්දීය පුරවැසියන්ගේ ආරක්ෂාව සමීපව නිරීක්ෂණය කරන බවත්, ඕනෑම හදිසි අවස්ථාවකදී සහාය වීමට ඉන්දීය දූත මණ්ඩල සූදානමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














