ඉන්දියානු ගුවන් හමුදාවට අයත් Su-30 MKI වර්ගයේ ප්‍රහාරක යානයක් ඊයේ (05) සන්ධ්‍යාවේ ඇසෑම් ප්‍රාන්තයේදී රේඩාර් තිරයෙන් අතුරුදහන් වී ඇති බව ඉන්දියානු ආරක්ෂක අංශ නිවේදනය කරයි. ඇසෑම්හි ජෝර්හට් (Jorhat) ගුවන් කඳවුරෙන් ගුවන්ගත වූ මෙම යානය, අවසන් වරට ගුවන් පාලන මැදිරිය සමඟ සම්බන්ධ වී ඇත්තේ පස්වරු 7.42 ට වන අතර, ඇසෑම්හි කර්බි ඇංග්ලොන්ග් (Karbi Anglong) දිස්ත්‍රික්කයේ කඳුකර සහ ඝන වනාන්තර සහිත ප්‍රදේශයට ඉහළින් පියාසර කරමින් තිබියදී යානය රේඩාර් සබඳතාව බිඳී ගොස් ඇති බව වාර්තා වේ.
යානය අතුරුදහන් වීමත් සමඟ ඉන්දියානු ගුවන් හමුදාව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි හදිසි සෝදිසි සහ මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. කර්බි ඇංග්ලොන්ග් ප්‍රදේශය අතිශය දුෂ්කර භූමියක් වන බැවින් ගොඩබිම් කණ්ඩායම්වලට අමතරව ගුවන් මගින් ද සෝදිසි කිරීම් සිදු කෙරේ. යානයේ සිටි නියමුවන් පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති අතර පවතින අයහපත් කාලගුණික තත්ත්වය සෝදිසි මෙහෙයුම්වලට බාධාවක් වී ඇති බව ආරක්ෂක අංශ පෙන්වා දෙයි.














