බටහිර ආසියානු කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ මතුව ඇති තෙල් සැපයුම් අර්බුදයට විසඳුම් ලෙස, අමෙරිකානු රජයේ විශේෂ අවසරය (waiver) මත රුසියාවෙන් බොරතෙල් බැරල් මිලියන 30ක් මිලදී ගැනීමට ඉන්දීය පිරිපහදු සමාගම් කටයුතු කර තිබේ. ඉන්දියන් ඔයිල් (Indian Oil) සහ රිලායන්ස් ඉන්ඩස්ට්‍රීස් (Reliance Industries) වැනි ප්‍රමුඛ පෙළේ සමාගම් පසුගිය සතියේ අගභාගයේදී මෙම දැවැන්ත මිලදී ගැනීම සිදු කර ඇති බව බ්ලූම්බර්ග් (Bloomberg) පුවත් සේවය වාර්තා කරයි. මීට පෙර අමෙරිකානු බලපෑම් හේතුවෙන් රුසියාවෙන් තෙල් ලබා ගැනීම සීමා කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබුණද, වත්මන් මැදපෙරදිග ගැටුම් හමුවේ ඇති වූ සැපයුම් හිඟය පියවා ගැනීම සඳහා මෙම තීරණය ගෙන ඇත.
අමෙරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වයත් සමඟ හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා සිදුවන ප්‍රවාහන කටයුතු අඩාල වීම හේතුවෙන් සෞදි අරාබිය සහ ඉරාකයෙන් ඉන්දියාවට ලැබෙන තෙල් සැපයුම සීමා වී තිබේ. ලෝකයේ ප්‍රධානතම තෙල් නිෂ්පාදකයින් සම්බන්ධ කරන මෙම මුහුදු මාර්ගය අවහිර වීම නිසා ඇති වූ බලශක්ති අර්බුදයට සහනයක් ලෙස රුසියානු තෙල් මිලදී ගැනීමට අමෙරිකාව විසින් ඉන්දියාවට අවසර ලබා දී ඇත. මෙම ගනුදෙනුව හරහා මෙරට බලශක්ති අවශ්‍යතාවය ස්ථාවරව පවත්වා ගැනීමට ඉන්දියාව අපේක්ෂා කරයි.














