ඉන්දියාවේ ආන්ධ්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ විසාඛපට්නම් (Visakhapatnam) ප්‍රදේශයේදී 31 හැවිරිදි බැංකු නිලධාරිනියක අමානුෂික ලෙස ඝාතනය කර ඇයගේ සිරුර කොටස් කර ශීතකරණයේ සඟවා තැබූ ඉන්දීය නාවික හමුදා සේවකයෙකු ඊයේ (30) පොලිසියට භාර වී තිබේ. 35 හැවිරිදි චින්තදා රවීන්ද්‍ර නැමැති සැකකරු INS Dega නාවික කඳවුරේ කාර්මික ශිල්පියෙකු ලෙස සේවය කරන්නෙකි.
මියගිය කාන්තාව වන පොලිපල්ලි මෞනිකා සහ සැකකරු අතර 2021 වසරේ සිට අනියම් සබඳතාවක් පවතී. සැකකරු 2024 වසරේදී විවාහ වී ඇති අතර, ඔහුගේ බිරිඳ දරු ප්‍රසූතිය සඳහා සිය දෙමාපියන්ගේ නිවසට ගොස් සිටි කාලය තුළ මොවුන් දෙදෙනා යළි මුණගැසී තිබේ. එහිදී ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පසු රවීන්ද්‍ර විසින් මෞනිකාගේ මුව සහ නාසය තද කර ඇයව ඝාතනය කර ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි විය.
ඝාතනයෙන් පසු සැකකරු විසින් පිහියක් ආධාරයෙන් සිරුරේ හිස, දෑත් සහ දෙපා වෙන් කර ඇති අතර, සිරුරේ කොටස් කිහිපයක් පොලිතින් බෑග්වල ඔතා සිය නිවසේ ශීතකරණයේ සඟවා ඇත. සිරුරේ අනෙකුත් කොටස් බෑගයක දමාගෙන පාළු ප්‍රදේශයකට රැගෙන ගොස් පෙට්‍රල් දමා පුළුස්සා දැමීමට ද ඔහු කටයුතු කර තිබේ. ඉතිරි කොටස් බැහැර කිරීමට ක්‍රමයක් නොමැති තැන ඔහු ඊයේ පෙරවරුවේ ගජුවාකා (Gajuwaka) පොලිසියට පැමිණ මෙලෙස භාර වී ඇත.














