ගෝලීය ගමන් බලපත්‍ර ශක්තිමත්භාවය මැන බලන “හෙන්ලි ගමන් බලපත්‍ර දර්ශකයේ” (Henley Passport Index) කැපී පෙනෙන වර්ධනයක් සනිටුහන් කිරීමට ඉන්දියාව සමත්ව තිබේ. මෙම වසර ආරම්භයේදී 80 වැනි ස්ථානයේ පසුවූ ඉන්දීය ගමන් බලපත්‍රය, මාසයක් වැනි කෙටි කාලයක් තුළ ස්ථාන 5ක් ඉදිරියට පැමිණෙමින් මේ වන විට 75 වැනි ස්ථානය දක්වා ඉහළ ගොස් ඇත. මේ අනුව ඉන්දීය ගමන් බලපත්‍ර හිමියන්ට පූර්ව වීසා බලපත්‍ර ලබා ගැනීමකින් තොරව (Visa-free) ලොව පුරා රටවල් 56ක් වෙත ගමන් කිරීමේ පහසුව හිමි වේ.
මෙම දර්ශකයේ ප්‍රථම ස්ථානය තවදුරටත් රැක ගැනීමට සිංගප්පූරුව සමත්ව ඇති අතර, සිංගප්පූරු ගමන් බලපත්‍රයක් හිමි අයෙකුට ලොව පුරා රටවල් 192ක් වෙත වීසා නොමැතිව ඇතුළු විය හැකිය. දර්ශකයේ පළමු ස්ථාන 10 අතරට තේරී පත්ව ඇති එකම දකුණු ආසියානු රට ලෙස මැලේසියාව කැපී පෙනෙන අතර, රටවල් 183කට වීසා රහිතව ඇතුළු වීමේ හැකියාව සහිතව ඔවුන් 6 වැනි ස්ථානයේ පසුවේ. බලවත් රාජ්‍යයක් වන ඇමරිකා එක්සත් ජනපදය මෙම දර්ශකයේ 10 වැනි ස්ථානය ලබාගෙන ඇත.
ඉන්දීය ගමන් බලපත්‍රයේ මෙම ප්‍රගතිය එරට වැසියන්ට විදෙස් සංචාර සහ ව්‍යාපාරික කටයුතු සඳහා වැඩි අවස්ථාවන් උදා කර දෙනු ඇති බව විදේශ ප්‍රතිපත්ති විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ශ්‍රී ලංකාව ඇතුළු අනෙකුත් දකුණු ආසියානු රටවල් ද මෙම දර්ශකයේ ඉහළට පැමිණීමට විවිධ රටවල් සමඟ වීසා නිදහස් ගිවිසුම්වලට එළඹීමට උත්සාහ කරමින් සිටින කාලවකවානුවක ඉන්දියාවේ මෙම පිම්ම සුවිශේෂී වේ.














