ඉන්දීය ගුවන් හමුදාවට අයත් ‘තේජස්’ (Tejas) වර්ගයේ සැහැල්ලු ප්‍රහාරක යානයක් පෙබරවාරි 7 වැනිදා ධාවන පථයෙන් ඉවතට පැනීමෙන් (Overshoot) එහි බඳ කොටසට (Airframe) බරපතළ හානි සිදුව ඇති බව අද (23) වාර්තා විය. පුහුණු පියාසර වාරයකින් පසු ගොඩබස්වන අවස්ථාවේදී යානයේ තිරිංග පද්ධතියේ (Brake failure) ඇති වූ දෝෂයක් මීට හේතුව බව සැක කෙරේ.
ප්‍රහාරක යානයේ නියමුවා ආරක්ෂිතව යානයෙන් පිටවීමට (Eject) සමත්ව ඇති අතර ඔහුට කිසිදු අනතුරක් සිදුව නොමැත. කෙසේ වෙතත්, යානයට සිදුව ඇති දැඩි ව්‍යුහාත්මක හානි හේතුවෙන් එය යළි භාවිතයට ගත නොහැකි මට්ටමේ පවතින බව වාර්තා වේ.
ඉන්දීය ගුවන් හමුදාව විසින් පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස දැනට සේවයේ පවතින සියලුම තනි නියමු ‘තේජස්’ යානා (යානා 30ක් පමණ) තාක්ෂණික පරීක්ෂාවන් සඳහා තාවකාලිකව ගොඩබස්වා තිබේ. මෙය 2015 වසරේ සේවයට එක් කිරීමෙන් පසු තේජස් යානයක් මුහුණ දුන් තෙවන අනතුරයි. මීට පෙර 2024 මාර්තු මාසයේදී ජයිසල්මීර්හිදී සහ 2025 නොවැම්බර් මාසයේදී ඩුබායි ගුවන් සංදර්ශනය අතරතුරදී ද මෙම වර්ගයේ යානා අනතුරට පත් විය.
හින්දුස්ථාන් ඒරොනොටික්ස් ලිමිටඩ් (HAL) ආයතනය විසින් නිෂ්පාදනය කරන මෙම යානා ඉන්දියාවේ “Make in India” වැඩසටහනේ ප්‍රධාන අංගයකි. මෙම නවතම අනතුර හේතුවෙන් HAL සමාගමේ කොටස් අගය ද අද දිනයේ 3% කින් පමණ පහත වැටී ඇති බව ආර්ථික වාර්තා පෙන්වා දෙයි.














