ඉන්දීය ඉහළම පෙළේ ගුවන් සේවයක් වන ඉන්ඩිගෝ (IndiGo), සිය නව ප්‍රධාන විධායක නිලධාරී (CEO) ලෙස ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA) වත්මන් ප්‍රධානී සහ බ්‍රිතාන්‍ය එයාර්වේස් (British Airways) හිටපු ප්‍රධානී විලියම් වොල්ෂ් (William Walsh) පත් කර ඇති බව ඊයේ (31) නිවේදනය කළේය. පසුගිය වසරේ අගභාගයේදී එම ගුවන් සේවය මුහුණ දුන් දරුණුතම මෙහෙයුම් අර්බුදය සහ ගුවන් ගමන් අවලංගු වීම් හමුවේ හිටපු ප්‍රධානී පීටර් එල්බර්ස් ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව පියවීමට මෙම පියවර ගෙන තිබේ.
විලියම් වොල්ෂ් ලබන අගෝස්තු මස 03 වනදාට පෙර සිය රාජකාරි ආරම්භ කිරීමට නියමිත අතර, ඔහු ගුවන් නියමුවෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කර පසුව එයාර් ලින්ගස් (Aer Lingus) සහ බ්‍රිතාන්‍ය එයාර්වේස් වැනි ලොව ප්‍රමුඛ ගුවන් සේවාවල ඉහළම තනතුරු හොබවා ඇති අත්දැකීම් බහුල නිලධාරියෙකි. යුරෝපීය ගුවන් සේවා ක්ෂේත්‍රයේ නවීකරණයට විශාල දායකත්වයක් ලබා දුන් ඔහු, ඉන්ඩිගෝ මුහුණ දෙන මෙහෙයුම් අර්බුදය සමනය කිරීමට සුදුසුම පුද්ගලයා ලෙස සැලකේ.
මෙම පත්වීම සඳහා අවශ්‍ය නීතිමය සහ නියාමන අනුමැතියන් ලබා ගැනීමට මේ වන විට කටයුතු කරමින් පවතින බවත්, ඔහුගේ පැමිණීමත් සමඟ ඉන්ඩිගෝ ගුවන් සේවයේ විශ්වාසනීයත්වය සහ සේවා ගුණාත්මකභාවය නැවත ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බවත් ගුවන් සමාගම සඳහන් කරයි.














