ඉන්දුනීසියාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින ආරක්ෂක සහයෝගීතාව ජපානය සහ පැපුවා නිව්ගිනියාව (PNG) දක්වා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බව ඉන්දුනීසියානු ආරක්ෂක අමාත්‍ය ස්ජාෆ්රි ස්ජම්සොඩින් මහතා ප්‍රකාශ කළේය. ජකර්තා නුවරදී සිය ඕස්ට්‍රේලියානු සගයා වන රිචඩ් මාර්ල්ස් මහතා සමඟ බ්‍රහස්පතින්දා (12) පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔහු මේ බව අනාවරණය කළේය.
ඒ අනුව ඉන්දුනීසියාව, ඕස්ට්‍රේලියාව සහ ජපානය අතර මෙන්ම ඉන්දුනීසියාව, ඕස්ට්‍රේලියාව සහ පැපුවා නිව්ගිනියාව අතර ත්‍රිපාර්ශ්වික ආරක්ෂක වැඩපිළිවෙලවල් සකස් වනු ඇත. මීට අමතරව බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමට ද දෙරට එකඟ වී තිබේ. ඉන්දු-පැසිෆික් කලාපයේ සාමය සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම සබඳතාව ඉතා වැදගත් වන බව ඕස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍යවරයා සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහන් කර තිබුණි.
මෙම සාකච්ඡාවේදී ඉන්දුනීසියාවේ උතුරු මලුකු පළාතේ පිහිටි මොරොටායි (Morotai) දූපතේ ඒකාබද්ධ හමුදා පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීම පිළිබඳව ද අවධානය යොමු විය. දෙවන ලෝක යුද සමයේදී හමුදා කඳවුරක් ලෙස භාවිත කළ මෙම ස්ථානය නවීකරණය කර ඉන්දුනීසියාව සහ ඕස්ට්‍රේලියාවේ ඒකාබද්ධ භාවිතය සඳහා යොදා ගැනීමට නියමිතය. මෙම පහසුකම් සඳහා පිලිපීනය, සිංගප්පූරුව වැනි රටවල හමුදා නිලධාරීන්ට ද අවස්ථාව හිමි වනු ඇති බව ඉන්දුනීසියානු ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.














