සමාජ මාධ්‍ය හරහා දරුවන්ට සිදුවන විවිධ අතවර සහ අපයෝජන වැළැක්වීම අරමුණු කරගනිමින්, වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය ඇතුළු ජනප්‍රිය සබැඳි වේදිකා (Online Platforms) භාවිතය තහනම් කිරීමට ඉන්දුනීසියානු රජය තීරණය කර තිබේ. ඒ අනුව මෙම ඓතිහාසික තීරණය ක්‍රියාත්මක කරන ප්‍රථම බටහිර නොවන රට බවට ඉන්දුනීසියාව පත්වනු ඇත.
ඉන්දුනීසියානු සන්නිවේදන සහ ඩිජිටල් කටයුතු අමාත්‍ය මෙයුටියා හෆිඩ් (Meutya Hafid) ප්‍රකාශ කර ඇත්තේ ලබන මාර්තු 28 වනදා සිට මෙම තහනම ක්‍රියාත්මක වන බවයි. මෙහිදී “අධි අවදානම්” සහිත වේදිකාවන් ලෙස හඳුනාගෙන ඇති YouTube, TikTok, Facebook, Instagram, Threads, X (Twitter), Bigo Live සහ Roblox යන ජාලයන්හි පවතින වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ ගිණුම් අක්‍රිය කිරීමට පියවර ගනු ඇත.
ඩිජිටල් අවකාශය තුළ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වයස් සීමාවන් පැනවීමට ඉන්දුනීසියාව ගත් මෙම පියවර ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි අවධානයට ලක්ව තිබේ. කෙසේ වෙතත්, මෙම තීරණය සම්බන්ධයෙන් අදාළ සමාජ මාධ්‍ය ජාලයන් මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නොමැති අතර, මෙමගින් ඉන්දුනීසියානු දරුවන්ගේ ඩිජිටල් භාවිතයේ විශාල වෙනසක් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.














