ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ඉන්දෝර් නගරයේ පසුගිය මාර්තු 17 වනදා සිදුවූ දරුණු ගිනි අනතුරකින් තම පවුලේ සාමාජිකයන් අට දෙනෙකු මියගියේ ගිනි නිවන හමුදාව පැමිණීම ප්‍රමාද වීම නිසා බව එම අනතුරින් දිවි ගලවා ගත් සෞරභ් පුගාලියා (Saurabh Pugalia) මහතා චෝදනා කරයි. ඊයේ (මාර්තු 19) ප්‍රාන්ත මහ ඇමති මෝහන් යාදව් මහතා හමුවූ ඔහු, ගිනි නිවන රථ පැමිණීමට පැයකට ආසන්න කාලයක් ගතවූ බවත් ඒවායේ ජලය ප්‍රමාණවත් පරිදි නොතිබූ බවත් පෙන්වා දුන්නේය.
බ්‍රජේෂ්වරි ඇනෙක්ස් කොලනි (Brajeshwari Annexe Colony) ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරික මනෝජ් පුගාලියාගේ නිවසේ හටගත් මෙම ගින්නෙන් මනෝජ් පුගාලියා ඇතුළු ඔහුගේ පුත්‍රයා, ලේලිය (ගැබිණි මවක්), දියණිය සහ මුණුබුරන් ඇතුළු අට දෙනෙකු මියගොස් තිබේ. විදුලි වාහනයක් (EV) ආරෝපණය කරමින් තිබූ ස්ථානයක ඇති වූ පිපිරීමක් ගින්නට හේතු වූ බව පොලිසිය මුලින් සැක කළ ද, නිවස අසල විදුලි කණුවක ඇති වූ පුළිඟුවක් ගින්නට හේතු වන්නට ඇති බව සෞරභ් මහතා පවසයි.
නිවසේ “ඩිජිටල් අගුලක්” (Digital Lock) තිබීම හේතුවෙන් පිරිසට පිටතට ඒමට නොහැකි වූ බවට පොලිසිය පැවසූ කරුණ සෞරභ් මහතා ප්‍රතික්ෂේප කරයි. නිවසේ තිබුණේ සාමාන්‍ය අගුලක් බවත්, ගිනි නිවන හමුදාව නිවැරදි වේලාවට පැමිණියේ නම් තම පවුලේ පිරිස බේරා ගැනීමට අවස්ථාව තිබූ බවත් ඔහු අවධාරණය කළේය. කෙසේ වෙතත්, ඉන්දෝර් නගරාධිපති පුෂ්‍යමිත්‍ර භාර්ගව් මහතා පවසන්නේ ගිනි නිවන රථ විනාඩි 17ක් ඇතුළත ස්ථානයට පැමිණි බවයි.
ගින්න හටගත් අවස්ථාවේ නිවස ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථයක් සහ යතුරුපැදි තුනක් ගිනි ගැනීම නිසා ගිනි නිවන භටයන්ට නිවසට ඇතුළු වීමට දැඩි බාධා එල්ල වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පවත්වන ලෙසත්, වැරදිකරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් මහ ඇමතිවරයා බලධාරීන්ට උපදෙස් දී ඇත.















