කර්මාන්ත ක්ෂේත්‍රයට අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව සැපයීම සහතික කිරීම සඳහා රජය විශේෂිත ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අද (17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඉදිකිරීම්, නිෂ්පාදන සහ අපනයන ඇතුළු සියලුම කර්මාන්ත අඩාල වීම වැළැක්වීම සඳහා බලශක්ති අමාත්‍යාංශය සහ ඛනිජ තෙල් සංස්ථාව ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
මෙම නව ක්‍රමවේදය යටතේ කර්මාන්ත හිමියන්ට සබැඳි (Online) පද්ධතියක් හරහා ලියාපදිංචි වීමේ පහසුකම ලබා දී ඇති අතර, මේ වන විටත් සමාගම් 750කට ආසන්න සංඛ්‍යාවක් සිය තොරතුරු ඇතුළත් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. එහිදී ලබාගන්නා දත්ත විශ්ලේෂණය කර, අදාළ සමාගමේ නිෂ්පාදන ධාරිතාව සහ ප්‍රවාහන අවශ්‍යතාව මත පදනම්ව සතිපතා ඉන්ධන කෝටාවක් වෙන් කිරීමට නියමිතය. එසේම, කර්මාන්තකරුවන්ට තමන්ට ආසන්නතම පිරවුම්හල හෝ තමන් සතු පෞද්ගලික ගබඩා මධ්‍යස්ථාන හරහා මෙම ඉන්ධන ලබාගැනීමට ද අවස්ථාව සලසා දී ඇත.
සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ අමාත්‍යවරයා, විදේශීය සංචාරකයින් රැගෙන යන වාහන සඳහා පෝලිම්වල රැඳී නොසිට ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය කටයුතු සලසා ඇති බවත්, එමගින් රටේ විදේශ විනිමය උපයන ප්‍රධාන මාර්ග ආරක්ෂා කර ගැනීමට රජය ප්‍රමුඛතාව ලබා දෙන බවත් පැවසීය. කර්මාන්ත සහ අපනයන ක්ෂේත්‍රය අඛණ්ඩව පවත්වාගෙන යාම මගින් රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම රජයේ මූලික අරමුණ බව සුනිල් හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් කියා සිටියේය.














