ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ (18) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්, පටු ආකල්ප සහ වෛරී දේශපාලනය පසෙකලා වෘත්තීය සමිති හා වෛද්‍ය වෘත්තිකයන්ගේ උපදෙස්වලට සවන් දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය. රටේ ජාතික ආරක්ෂාව සහ ආර්ථික අභියෝග පිළිබඳව අනතුරු ඇඟවූ ඔහු, වර්තමානයේ පාතාලය නැවත හිස ඔසවා ඇති බවත් ඝාතන රැල්ලක් නිර්මාණය වී ඇති බවත් පෙන්වා දුන්නේය. මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි විධිමත් පියවර ගන්නා ලෙස ඔහු මෙහිදී රජයට අවධාරණය කළේය.
රජයේ වත්මන් බදු ප්‍රතිපත්ති සහ කෘෂිකාර්මික වැඩපිළිවෙළ දැඩි ලෙස විවේචනය කළ මන්ත්‍රීවරයා, දේශීය ගොවියා ශක්තිමත් කරන බව පවසා බලයට පත් වූ රජය අද සිදු කරන්නේ ආනයනික ආහාර සහ එළවළු සඳහා බදු සහන ලබා දෙමින් ව්‍යාපාරිකයන් පෝෂණය කිරීම බවට චෝදනා කළේය. වී මිලදී ගැනීම සඳහා වෙන් කළ රුපියල් බිලියන 10ක මුදලින් ගොවීන්ට තවමත් සාධාරණ මිලක් ලැබී නොමැති බවත්, පොහොර සහනාධාරය සහ වගා හානි වන්දි ලබා දීමේදී රජය ලබා දුන් පොරොන්දු ඉටු කර නොමැති බවත් ඔහු පැවසීය. විශේෂයෙන්ම වන්දි වශයෙන් ලබා දුන් චෙක්පත් බැංකු මඟින් ප්‍රතික්ෂේප වී ඇති බව පෙන්වා දුන් ඔහු, ගොවියා සහ ධීවරයා ආරක්ෂා නොකළහොත් රටේ ආහාර සුරක්ෂිතතාව සහ ආර්ථික ස්ථාවරත්වය බිඳ වැටෙනු ඇති බවට අනතුරු ඇඟවීය.
මීට අමතරව විදේශ රැකියා ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳව ද ඔහු මෙහිදී කරුණු ඉදිරිපත් කළේය. ඊශ්‍රායලයේ සහ දකුණු කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසකට පවතින පරිපාලන ප්‍රමාදයන් හේතුවෙන් සිය රැකියා සඳහා පිටත්ව යාමට නොහැකි වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය. රජය වෙනුවෙන් කැප වූ සහ රජයට ඡන්දය ලබා දුන් මෙම පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් ඔවුන්ට සාධාරණය ඉටු කිරීමට රජය වහාම මැදිහත් විය යුතු බව නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.














