ජාත්‍යන්තර ළමා පිළිකා දිනය අදට (15) යෙදී ඇති අතර, “ළමා පිළිකාව ජය ගැනීම අත්දකිමු” යන්න මෙවර එහි තේමාවයි. ළමුන් සියල්ලන්ටම සමාන පිළිකා සත්කාර ලබාදීම සහ මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මෙදින ප්‍රධාන අරමුණ වේ. ජාතික පිළිකා මර්දන වැඩසටහනට අනුව, 2022 වසරේදී ශ්‍රී ලංකාවෙන් ළමා පිළිකා රෝගීන් 940ක් වාර්තා වී ඇති අතර, ඉන් වැඩි පිරිසක් (499ක්) පිරිමි දරුවන් වේ. ලියුකේමියාව, මොළයේ පිළිකා සහ අස්ථි ආශ්‍රිත පිළිකා දරුවන් අතර බහුලව දක්නට ලැබෙන අතර, නිසි වේලාවට හඳුනාගෙන ප්‍රතිකාර කිරීමෙන් මේවා සම්පූර්ණයෙන් සුව කළ හැකි බව වෛද්‍ය අංශ අවධාරණය කරයි.
ලොව පුරා වාර්ෂිකව ළමා පිළිකා ලක්ෂ 4ක් පමණ අලුතින් හඳුනා ගන්නා අතර, ඉහළ ආදායම් ලබන රටවල දරුවන්ගේ ජීවත්වීමේ සම්භාවිතාව 80%ක් වුවද, ශ්‍රී ලංකාව වැනි රටවල එය තවමත් පවතින්නේ අඩු මට්ටමකය. රෝග විනිශ්චය ප්‍රමාද වීම සහ ප්‍රතිකාර සඳහා ඇති බාධාවන් මෙයට ප්‍රධාන හේතු වේ. මෙම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා 2024 සිට 2026 දක්වා ක්‍රියාත්මක තුන් අවුරුදු සැලැස්ම යටතේ මෙරට ළමා පිළිකා සත්කාරක සේවා නංවාලීමට රජය සහ සෞඛ්‍ය අංශ මේ වන විට විශේෂ වැඩපිළිවෙළක් දියත් කර ඇත.















