මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, කාන්තා අයිතිවාසිකම්, යුක්තිය සහ ආරක්ෂාව තහවුරු කරන සමාජයක් වෙනුවෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ හයක කාන්තා සංවිධාන එක්ව විශේෂ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ. කොළඹ ජානකී හෝටලයේදී රැස්වූ මෙම සර්ව පාක්ෂික කාන්තා නියෝජිතවරියන් රටේ සමස්ත කාන්තා ප්‍රජාවගේ ජීවන යථාර්ථය පිළිබඳව රජයේ සහ සමාජයේ අවධානය යොමු කරවීම මෙහි අරමුණ බව සඳහන් කළහ.
මෙම ඒකාබද්ධ ප්‍රකාශයට එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන පක්ෂය නව ජනතා පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය සහ ලංකා කම්කරු කොංග්‍රසය යන පක්ෂවල කාන්තා සංවිධාන අත්සන් තබා ඇත.
වතුකරයේ ශ්‍රමික කාන්තාවන්, ගම්මානවල සිට වෙළෙඳ කලාප කරා පැමිණි තරුණියන් මෙන්ම විදේශ රැකියාවල නියුතු මෙරටට විදේශ විනිමය ගෙන එන මව්වරුන් මුහුණ දෙන අභියෝග පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ. කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවම කිරීම සහ ඔවුන්ගේ ආර්ථික නිදහස තහවුරු කිරීම සඳහා දේශපාලන භේදයකින් තොරව පොදු අරමුණක් වෙනුවෙන් පෙනී සිටින බව මෙම සංවිධාන වැඩිදුරටත් අවධාරණය කරයි.














