2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 15 වන තරගය ලෙස කොල්කටා නයිට් රයිඩර්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම් අද රාත්‍රී 7:30 ට කොල්කටාහි ඊඩ්න් ගාර්ඩ්න් ක්‍රීඩාංගණයේදී තරග වැදීමට නියමිතයි. මෙවර තරගාවලිය ආරම්භයේ සිටම දැඩි පසුබෑමකට ලක්ව සිටින කොල්කටා කණ්ඩායම මේ දක්වා සහභාගී වූ තරග දෙකම පරාජයට පත්ව ඇති අතර ඔවුන්ට දැනට හිමිව ඇත්තේ වර්ෂාව නිසා අතහැර දැමූ තරගයකින් ලැබුණු එක් ප්‍රසාද ලකුණක් පමණි. මේ නිසා අද තරගය ජයග්‍රහණය කිරීම ඔවුන්ට ඉතා තීරණාත්මක වී තිබේ. අනෙක් අතට, ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ජයග්‍රාහී මානසිකත්වයකින් පසුවන අතර කණ්ඩායම් දෙක අතර මෙතෙක් පවත්වා ඇති තරග 6න් 4කම ජයග්‍රහණය හිමිකරගෙන ඇත්තේ ද ලක්නව් කණ්ඩායමයි.
අද තරගය සඳහා කොල්කටා කණ්ඩායම අජින්ක්‍යා රහනේගේ නායකත්වයෙන් සහ ලක්නව් කණ්ඩායම රිෂාබ් පාන්ට්ගේ නායකත්වයෙන් පිටියට පිවිසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. කොල්කටා කණ්ඩායම වෙනුවෙන් ෆින් ඇලන්, කැමරන් ග්‍රීන්, රින්කු සිං සහ සුනිල් නරේන් වැනි ක්‍රීඩකයින් කෙරෙහි වැඩි අවධානයක් යොමුව ඇති අතර ලක්නව් කණ්ඩායම වෙනුවෙන් මිචෙල් මාෂ්, ඒඩන් මාක්‍රම්, නිකොලස් පූරන් සහ මොහොමඩ් ෂාමි වැනි ප්‍රබල ක්‍රීඩකයින් ක්‍රීඩා කිරීමට නියමිතය. සිය මව් ක්‍රීඩාංගණයේදී ක්‍රීඩා කරන බැවින් කොල්කටා කණ්ඩායමට යම් වාසියක් පවතින බව පෙනුනද, දක්ෂතා අනුව ලක්නව් කණ්ඩායම ද දැඩි අභියෝගයක් එල්ල කරනු ඇතැයි ක්‍රීඩා විචාරකයෝ විශ්වාස කරති.














