ඉන්දියන් සාගරයේදී ඉරාන නාවික හමුදාවට අයත් IRIS Dena යුද නෞකාවට ඇමෙරිකානු සබ්මැරීනයක් එල්ල කළ ප්‍රහාරයෙන් පසු, එහි සිටි අසරණ වූ නාවිකයන් බේරා ගැනීමේ මෙහෙයුම්වලට ඇමෙරිකාව හිතාමතාම බාධා කිරීම බරපතල යුද අපරාධයක් බව ඉරානය නිල වශයෙන් චෝදනා කරයි. ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය අද (11) නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, නෞකාව ගිල්වා දැමීමෙන් පසු මුහුදේ අතරමංව සිටි නාවිකයන් බේරා ගැනීමට ගත් උත්සාහයන්ට ඇමෙරිකානු හමුදා බාධා එල්ල කළ බවයි.
ජාත්‍යන්තර නීතියට අනුව ප්‍රහාරයකින් පසු තුවාල ලැබූවන් හෝ අසරණ වූවන් බේරා ගැනීමට ඉඩ ලබා දීම අනිවාර්ය වුවද, ඇමෙරිකාව එම මානුෂීය වගකීම පැහැර හැර ඇති බව ඉරානය පෙන්වා දෙයි. මෙම සිදුවීම හේතුවෙන් නාවිකයන් 104 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, ඉන් 84 දෙනෙකුගේ දේහයන් මේ වන විට හඳුනාගෙන තිබේ. මෙම යුද අපරාධ චෝදනාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර අධිකරණය හමුවට කරුණු ඉදිරිපත් කිරීමට ඉරානය සූදානම් වන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අතර, ඇමෙරිකානු ආරක්ෂක අංශ මෙම චෝදනා මෙතෙක් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර නොමැති අතර, කලාපයේ පවතින යුද උණුසුම මේ හරහා තවදුරටත් උග්‍ර වීමේ අවදානමක් පවතී.















