අමෙරිකාව සහ ඉරානය අතර පවතින දරුණු යුදමය වාතාවරණය හමුවේ ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) භාවිතා කිරීම සඳහා ඉන්දියාව ඇතුළු මිත්‍ර රටවල් කිහිපයකට ඉරානය අවසර ලබා දී තිබේ. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) අද (2026 මාර්තු 26) ප්‍රකාශ කළේ ඉන්දියාව, පකිස්ථානය, ඉරාකය, චීනය සහ රුසියාව යන රටවල නෞකාවලට මෙම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට බාධාවක් නොමැති බවයි.
මුම්බායි හි පිහිටි ඉරාන කොන්සල් ජනරාල් කාර්යාලය ද මේ බව තහවුරු කරමින් නිවේදනයක් නිකුත් කර ඇති අතර එහි සඳහන් වන්නේ ඉරානයට එරෙහි ආක්‍රමණයන්ට සහාය නොදක්වන සහ “සතුරු නොවන” (Non-hostile) ඕනෑම නෞකාවකට පූර්ව සම්බන්ධීකරණයකින් පසුව ආරක්ෂිතව ගමන් කළ හැකි බවයි. කෙසේ වෙතත්, අමෙරිකාව, ඊශ්‍රායලය හෝ ඔවුන්ගේ සහායක රටවලට අයත් නෞකාවලට මෙම මාර්ගය තවදුරටත් වසා පවතිනු ඇත. සති කිහිපයක සිට හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර වීම හේතුවෙන් ගෝලීය ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ ගිය අතර, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 104 සීමාව දක්වා වර්ධනය වී තිබේ.
මෙම තත්ත්වය හමුවේ ඉන්දීය නාවික ක්ෂේත්‍රය යම් සහනයක් ලබා ඇති අතර, ඉන්දීය කොඩිය යටතේ යාත්‍රා කරන ‘Pine Gas’ සහ ‘Jag Vasant’ යන ගෑස් ප්‍රවාහන නෞකා දෙක දැනටමත් හෝමුස් සමුද්‍ර සන්ධිය ආරක්ෂිතව පසු කර ඉන්දියාව බලා පැමිණෙමින් පවතින බව වාර්තා වේ. එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ද මෙම සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම විවෘත කරන ලෙස ඉල්ලා ඇති අතර, ලෝක බලවතුන් මැදිහත් වී යුද්ධය වහාම නතර කළ යුතු බව අවධාරණය කර සිටියි.














