ඉරාන විරෝධී සතුරු මාධ්‍ය ජාල සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් රහස්‍ය තොරතුරු ලබාදුන් බවට චෝදනා කරමින් පුද්ගලයින් සිව්දෙනෙකු ඉරාන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) පොලිස් අංශය වන ‘ෆරාජා’ (FARAJA) විසින් මෙම වැටලීම සිදු කර ඇති බව ඉරාන ‘තස්නිම්’ පුවත් ඒජන්සිය වාර්තා කරයි.
අත්අඩංගුවට ගත් පිරිස බ්‍රිතාන්‍යය පදනම් කරගත් ‘ඉරාන් ඉන්ටර්නැෂනල්’ (Iran International) නාලිකාව වෙත මිසයිල ප්‍රහාර සහ බෝම්බ පිපිරීම් සිදු වූ ස්ථානවල දර්ශන හා සංවේදී තොරතුරු සිය ජංගම දුරකථන හරහා යවා ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඉරාන බලධාරීන් විසින් මෙම නාලිකාව නම් කර ඇත්තේ එරට ආරක්ෂාවට තර්ජනයක් වන “සතුරු මාධ්‍ය ජාලයක්” ලෙසිනි.
පවතින යුදමය වාතාවරණය හමුවේ රට අභ්‍යන්තරයේ තොරතුරු බාහිර පාර්ශව වෙත ලබාදීම සම්බන්ධයෙන් ඉරානය සිය නීති දැඩි කර ඇති අතර, මෙම අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි. මැදපෙරදිග අර්බුදය තවදුරටත් තීව්‍ර වෙමින් පවතින පසුබිමක මෙවැනි පියවරයන් හරහා තොරතුරු ගලායාම පාලනය කිරීමට ඉරාන රජය උත්සාහ කරමින් සිටී.














