ඇමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය අයතුල්ලා අලි කමේනිගෙන් පසු, ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස පත්වන පුද්ගලයා පිළිබඳව එරට පූජක පාලන තන්ත්‍රයේ ඉහළම ආයතනය වන ‘විශේෂඥ මණ්ඩලය’ (Assembly of Experts) අවසන් තීරණයකට එළඹ ඇති බව වාර්තා වේ. ඉරාන ‘ෆාර්ස්’ (Fars) පුවත් සේවය මෙම තොරතුරු තහවුරු කර තිබේ.
විශේෂඥ මණ්ඩලයේ සාමාජිකයෙකු වන අයතුල්ලා මොහොමඩ් මෙහ්දි මීර්බගේරි ප්‍රකාශ කර ඇත්තේ, බහුතරයකගේ එකඟතාවය මත පදනම් වූ ස්ථිර තීරණයක් මේ වන විටත් ගෙන ඇති බවයි. කෙසේ වෙතත්, කලාපයේ පවතින උණුසුම් යුදමය වාතාවරණය සහ විවිධ බාධාවන් සැලකිල්ලට ගෙන අදාළ පුද්ගලයාගේ නම මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත. මෙම තීරණාත්මක තේරීම මතභේදයකින් තොරව සහ ඉතා ප්‍රවේශමෙන් සිදු කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.
ජ්‍යෙෂ්ඨ පූජකවරුන් 88 දෙනෙකුගෙන් සමන්විත මෙම විශේෂඥ මණ්ඩලය වෙත මීළඟ නායකයා තේරීමේ වගකීම පැවරී ඇත්තේ, දශක හතරකට ආසන්න කාලයක් රට පාලනය කළ අලි කමේනි අනුප්‍රාප්තිකයෙකු නම් කිරීමට පෙර ඝාතනයට ලක්වීම හේතුවෙනි. මොජ්තාබා කමේනි ඇතුළු නම් කිහිපයක් පිළිබඳව විදෙස් මාධ්‍ය අනුමාන පළ කළ ද, ඉරානය විසින් සිය නව නායකයා ප්‍රකාශයට පත් කිරීම ඉදිරි දින කිහිපය තුළ සිදු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.














