ඉරාක මුහුදු සීමාවේදී තෙල් ටැංකි දෙකකට එල්ල වූ ඉරාන ප්‍රහාර හමුවේ එරට තෙල් වරායවල මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට ඉරාක බලධාරීන් පියවර ගෙන තිබේ. ඉරාක වරාය සමාගමේ අධ්‍යක්ෂ ජනරාල් ෆර්හාන් අල්-ෆර්ටූසි මහතා ප්‍රකාශ කළේ තෙල් පර්යන්තවල කටයුතු අත්හිටුවා ඇති නමුත් සාමාන්‍ය වෙළඳ වරායවල් තවදුරටත් ක්‍රියාත්මක වන බවයි.
පර්සියානු ගල්ෆ් කලාපයේදී ඉරාන “දිය යට ඩ්‍රෝන” (Water drone) ප්‍රහාරයකින් මෙම තෙල් ටැංකි දෙක ගිනි ගැනීමට ලක්ව ඇති අතර, එහිදී එක් නාවිකයෙකු මියගොස් තවත් 38 දෙනෙකු බේරා ගැනීමට හැකි වී තිබේ. පසුගිය බදාදා සිට මේ දක්වා පර්සියානු ගල්ෆ් කලාපයේ නෞකාවලට එල්ල වූ හයවන ප්‍රහාරය මෙය වන අතර, උපායමාර්ගිකව වැදගත් වන හොර්මුස් සමුද්‍ර සන්ධිය මේ වන විට යුද්ධයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත. මෙම තත්ත්වය ඉරාකයේ ආරක්ෂාවට සහ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරන බව එරට තෙල් අලෙවි සමාගම වන SOMO අවධාරණය කරයි.
මේ අතර, ඉරාකයේ කුර්දිස්ථාන කලාපයේ පිහිටි ඉතාලි හමුදා කඳවුරකට ද ඊයේ රාත්‍රියේ මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබේ. අර්බිල් (Erbil) හි පිහිටි මෙම කඳවුරට එල්ල වූ ප්‍රහාරයෙන් කිසිදු ඉතාලි සොල්දාදුවෙකුට හානියක් සිදුව නොමැති බවත්, සියලු දෙනා බංකර් තුළ ආරක්ෂිතව සිටින බවත් ඉතාලි විදේශ අමාත්‍ය ඇන්ටෝනියෝ ටජානි මහතා තහවුරු කළේය.
















