එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ඕස්ට්‍රේලියානු සොල්දාදුවන් රැඳී සිටින අල් මින්හාඩ් (Al Minhad) ගුවන් හමුදා කඳවුර ඉලක්ක කර ඉරානය ප්‍රහාරයක් එල්ල කර ඇති බව ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් (Anthony Albanese) අද තහවුරු කළේය. මෙම ප්‍රහාරය හේතුවෙන් කඳවුරේ වෛද්‍ය පහසුකම් සහ නවාතැන් ගොඩනැගිලිවලට ගිනි ගැනීම් හේතුවෙන් හානි සිදුවී ඇති නමුත් එහි සිටින ඕස්ට්‍රේලියානු සෙබළුන් 100 කට අධික පිරිසෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ඉරානය විසින් එල්ල කරන ලද මෙම ප්‍රහාරය මිසයිලයක් ද නැතහොත් ඩ්‍රෝන ප්‍රහාරයක් ද යන්න මෙතෙක් ස්ථිරව ප්‍රකාශ කර නොමැති අතර එක් ප්‍රහාරක අංගයක් කඳවුරෙන් පිටත මාර්ගයකට පතිත වී තිබේ. කඳවුරේ නවාතැන් බ්ලොක් එකකට සහ වෛද්‍ය මධ්‍යස්ථානයකට සුළු හානි සිදුවී ඇති බවත් ඉරාන පාලන තන්ත්‍රය කලාපය පුරා මෙලෙස අහඹු ප්‍රහාර එල්ල කරමින් සිටින බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය. ඕස්ට්‍රේලියාව මේ වන විට සෘජු යුද්ධයකට මැදිහත් වී නොමැති වුවද මෑත සති කිහිපය තුළ මෙම කඳවුර ඉලක්ක කර එල්ල වූ දෙවන ප්‍රහාරය මෙය බව වාර්තා වේ.
මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හමුවේ ඉරානය විසින් විවිධ රටවල හමුදා මධ්‍යස්ථාන ඉලක්ක කිරීම ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇති කරුණකි. ඕස්ට්‍රේලියානු රජය සිය සෙබළුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන අතර මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් සමඟ එක්ව ඉදිරි විමර්ශන පවත්වන බව අගමැති ඇල්බනීස් ප්‍රකාශ කළේය.














