ඉරානයේ ටෙහෙරාන් අගනුවර පිහිටි සුප්‍රකට අසාදි ක්‍රීඩා සංකීර්ණයට (Azadi Sports Complex) අමෙරිකානු සහ ඊශ්‍රායල හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් එහි වූ ආසන 12,000ක ධාරිතාවයකින් යුත් ගෘහස්ථ ක්‍රීඩාගාරය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වේ. ඉරාන යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් එල්ල වන “අපරාධකාරී ප්‍රහාර මාලාවේ” නවතම සිදුවීම මෙය බව ඉරාන තස්නිම් (Tasnim) පුවත් සේවය වාර්තා කරයි. මෙම ප්‍රහාරයෙන් පාපැදි සම්මේලනයට අයත් නේවාසිකාගාර සහ අලුතින් ඉදිකරන ලද ගොඩනැගිල්ලක් ද පොළොවට සමතලා වී ඇති අතර, පිහිනුම් තටාකය ඇතුළු අවට පහසුකම් රැසකට දැඩි හානි සිදුව ඇත.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඉරාන ඔරු පැදීමේ සම්මේලනයේ සභාපති අලිරේසා සොහ්රාබියන් මහතා ප්‍රකාශ කළේ, යුද සමයකදී ක්‍රීඩා, අධ්‍යාපනික සහ සෞඛ්‍ය පහසුකම් ඉලක්ක කිරීම රතු කුරුස ප්‍රඥප්තිය (Red Cross charter) උල්ලංඝනය කිරීමක් බවයි. “අධ්‍යාපනික සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන මෙන්ම ක්‍රීඩා ස්ථාන විනාශ කිරීම ජාත්‍යන්තර නීතියට අනුව තහනම් වුවද, අද අප අසාදි ක්‍රීඩාංගණයට එල්ල වූ සෘජු ප්‍රහාරය දුටුවා,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය. මෑතකදී ඝාතනයට ලක්වූ ඉරාන උත්තරීතර නායක අයාතුල්ලා අලි කමේනිගේ අභාවය වෙනුවෙන් ද ඔහු මෙහිදී සිය ශෝකය පළ කර සිටියේය.














