ඉරානය “ගල් යුගයට” (Stone Ages) ඇද දමන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයෙන් පැය කිහිපයකට පසු, ඉරානයේ පිහිටි උසම පාලම වන B1 පාලනයට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් අට දෙනෙකු මියගොස් තවත් 95 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. තෙහෙරාන් අගනුවරට කිලෝමීටර් 35ක් පමණ නිරිත දෙසින් පිහිටි කරාජ් (Karaj) ප්‍රදේශයේ මෙම පාලම පිහිටා තිබේ.
පාලම විනාශ වී දුම් රොටු නගින අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහරිමින් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, ඉරානය වහාම සාකච්ඡා මේසයට නොපැමිණෙන්නේ නම් මෙවැනි තවත් විනාශයන් සිදුවනු ඇති බවයි. “ඉරානයේ විශාලතම පාලම බිම වැටී අවසන්, එය නැවත කිසිදා භාවිතයට ගත නොහැකියි. ඉරානයට ගනුදෙනුවක් කිරීමට තවමත් කාලය තිබේ,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) පවසා ඇත්තේ, මෙවැනි සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමෙන් ඉරාන ජනතාව යටත් කරගත නොහැකි බවයි. සති පහක් පුරා ඇදී යන මෙම යුදමය වාතාවරණය හමුවේ දෙපාර්ශවයම දැඩි ස්ථාවරයක පසුවීම මැදපෙරදිග කලාපයේ ආරක්ෂාවට බරපතල තර්ජනයක් වී තිබේ.














