ඇමෙරිකානු සහ ඉශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ තෙල් පිරිපහදු සහ ගබඩා සංකීර්ණ ගිනි ගැනීමෙන් හටගත් අධික කළු දුමාරය සමඟ මිශ්‍ර වූ ‘කළු වැස්ස’ (Black Rain) හේතුවෙන් බරපතල සෞඛ්‍ය අවදානමක් මතුව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අද (10) අනතුරු ඇඟවීය. මෙම තත්ත්වය හමුවේ ශ්වසන පද්ධතියට හානි සිදුවිය හැකි බැවින්, නිවෙස් තුළටම වී සිටින ලෙස ඉරාන රජය නිකුත් කළ උපදෙස් අනුමත කරන බව ජිනීවා නුවරදී එම සංවිධානයේ ප්‍රකාශක ක්‍රිස්ටියන් ලින්ඩ්මේයර් (Christian Lindmeier) පැවසීය.
පසුගිය සඳුදා (09) ටෙහෙරාන් අගනුවර තෙල් පිරිපහදුවකට එල්ල වූ ප්‍රහාරයෙන් පසු මුළු නගරයම කළු දුමාරයෙන් වැසී ගිය අතර, මේ සතිය පුරාම තෙල් මිශ්‍රිත අම්ල වැසි ඇද හැලෙන බවට වාර්තා ලැබී තිබේ. රොයිටර් පුවත් සේවය වෙත ලැබී ඇති වීඩියෝ දර්ශනවල ටෙහෙරාන් නුවර කාර්යාල පරිශ්‍රයන් කළු පැහැති දියරයකින් වැසී ඇති අයුරු දැක්වෙන අතර, වාතයේ ගුණාත්මකභාවය අතිශය අවදානම් මට්ටමකට පහත වැටී ඇති බව WHO තහවුරු කරයි.














