උපායමාර්ගිකව වැදගත් හෝමුස් සමුද්‍ර සන්ධිය අමෙරිකාව, ඊශ්‍රායලය සහ යුරෝපා රටවලට අයත් නෞකාවලට පමණක් වසා දැමීමට තීරණය කළ බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) නිවේදනය කර තිබේ. කලාපීය නොසන්සුන්තාවය උත්සන්න වෙමින් පවතින පසුබිමක ඉරානය විසින් ගනු ලැබූ මෙම පියවර ලෝක වෙළඳාමට සහ බලශක්ති සැපයුමට සෘජු බලපෑමක් එල්ල කරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම තීරණය මගින් පර්සියානු ගල්ෆ් කලාපයට ඇතුළු වන සහ ඉන් පිටවන බටහිර රටවල නෞකාවලට දැඩි බාධා එල්ල වන අතර, එම රටවල් ඉරානයට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාරයක් ලෙස මෙම පියවර ගත් බව ඉරාන ආරක්ෂක අංශ පෙන්වා දෙයි. හෝමුස් සමුද්‍ර සන්ධියේ පූර්ණ පාලනය තමන් සතු බවත්, තම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ඕනෑම විදෙස් බලපෑමකට එරෙහිව මෙවැනි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර ඇත.
ලෝකයේ බොරතෙල් ප්‍රවාහනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සිදුවන මෙම මුහුදු සීමාව වසා දැමීමත් සමඟ ජාත්‍යන්තර වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාමේ අවදානමක් ද මතු වී තිබේ. ඉරානයේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අමෙරිකාව හෝ යුරෝපා සංගමය මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නොමැති වුවද, කලාපයේ නාවික ආරක්ෂාව තහවුරු කිරීමට ජාත්‍යන්තර මැදිහත්වීම් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.














