ඉරානය විසින් දියත් කරනු ලබන අඩු පිරිවැය සහිත ඩ්‍රෝන ප්‍රහාර මාලාව හමුවේ ගල්ෆ් කලාපීය රටවල් සහ ඇමරිකානු ආරක්ෂක අංශ සිය මිසයිල සංචිත වේගයෙන් වැය කරමින් සිටින බව වාර්තා වේ. ඩොලර් 20,000ත් 30,000ත් අතර පිරිවැයකින් නිපදවන ඉරාන “ෂහෙඩ්” (Shahed) ඩ්‍රෝන යානා විනාශ කිරීම සඳහා ඩොලර් මිලියන 4ක් පමණ වටිනා “පේට්‍රියට්” (Patriot) මිසයිල සහ ඇතැම් විට ඩොලර් මිලියන 12ක් වටිනා THAAD මිසයිල භාවිත කිරීමට සිදුවීම මූල්‍යමය වශයෙන් දැරිය නොහැකි මට්ටමකට පත්ව ඇති බව යුද විශ්ලේෂකයෝ පෙන්වා දෙති. පසුගිය දින කිහිපය තුළ පමණක් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සවුදි අරාබිය සිය ආරක්ෂාව වෙනුවෙන් ඩොලර් බිලියන ගණනක මිසයිල වැය කර ඇති අතර, කටාර් රාජ්‍යයේ පේට්‍රියට් මිසයිල සංචිතය තවත් දින හතරකට පමණක් ප්‍රමාණවත් වනු ඇති බවට බ්ලූම්බර්ග් (Bloomberg) පුවත් සේවය අනතුරු අඟවා තිබේ.
මෙම අර්බුදයට පිළියම් ලෙස ඇමරිකානු සහ මිත්‍ර හමුදා දැනටමත් අඩු පිරිවැය සහිත ‘EAGLS’ වැනි ලේසර් මාර්ගෝපදේශක රොකට් පද්ධති සහ ‘APKWS’ මිසයිල (ඩොලර් 20,000-30,000) භාවිතයට හඳුන්වා දෙමින් සිටියි. එමෙන්ම ‘Iron Beam’ වැනි ඉහළ ශක්ති ලේසර් අවි සහ ජැමර් (Jammers) වැනි ඉලෙක්ට්‍රොනික යුද උපක්‍රම කෙරෙහි වැඩි අවධානයක් යොමු වෙමින් පවතින්නේ මිල අධික මිසයිල සංචිත ආරක්ෂා කර ගැනීම සඳහාය. ඉරානය සිය සූක්ෂ්ම යුද උපායමාර්ගය හරහා බටහිර ආරක්ෂක පද්ධති මූල්‍යමය වශයෙන් වෙහෙසට පත් කිරීමට (Financial Attrition) උත්සාහ කරමින් සිටින අතර, මෙයට පිළියමක් ලෙස ඇමරිකානු ආරක්ෂක අංශ මේ වන විට ඉරානයේ ඩ්‍රෝන නිෂ්පාදන මධ්‍යස්ථාන සහ දියත් කිරීමේ අංගන සෘජුවම විනාශ කිරීමේ “Epic Fury” වැනි මෙහෙයුම් වේගවත් කර ඇත.














