අමෙරිකාව සහ ඉශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කරන දරුණු ගුවන් ප්‍රහාර හමුවේ මේ වන විට ඉරාන සිවිල් වැසියන් 742කට අධික පිරිසක් මියගොස් ඇති බව මානව හිමිකම් සංවිධාන වාර්තා කරයි. ඉරාන රතු අඩසඳ සංගමය මරණ සංඛ්‍යාව 555ක් ලෙස සටහන් කළද, ඇමෙරිකාව පදනම් කරගත් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ පුවත් ඒජන්සිය (HRANA) පවසන්නේ මියගිය පිරිස අතර දරුවන් 176 දෙනෙකු ද සිටින බවයි. ඉරානය පුරා පවතින අන්තර්ජාල විසන්ධි කිරීම් හේතුවෙන් ස්වාධීන තොරතුරු තහවුරු කර ගැනීම අතිශය දුෂ්කර වී ඇති අතර, මරණ සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් වේ.
දකුණු ඉරානයේ මිනාබ් ප්‍රදේශයේ පිහිටි ගැහැණු ළමයින්ගේ ප්‍රාථමික පාසලකට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් දරුවන් ඇතුළු 150කට අධික පිරිසක් මියයාම මෑත කාලීන දරුණුතම සිදුවීම ලෙස හෙන්ගව් (Hengaw) මානව හිමිකම් සංවිධානය වාර්තා කර ඇත. මේ අතර, ඉරාන බලධාරීන් සිය පුරවැසියන්ගේ ජංගම දුරකථන වෙත පණිවුඩ යවමින් අනතුරු අඟවා ඇත්තේ, වීදිවලට පැමිණෙන ඕනෑම අයෙකු “සතුරා සමඟ සෘජුව සහයෝගය දක්වන්නෙකු” ලෙස සලකා දඬුවම් කරන බවයි. මෙය ජනතාවගේ විරෝධතා මර්දනය කිරීම සඳහා ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගයක් බව පෙනී යයි.
ඉරාන වැසියන් පවසා සිටින්නේ පාලක පාලන තන්ත්‍රය හිතාමතාම සිය මිලිටරි කඳවුරු ජනාකීර්ණ ප්‍රදේශවල ස්ථාපනය කර ඇති බවයි. මේ හේතුවෙන් අමෙරිකානු ප්‍රහාරවලින් සිවිල් වැසියන් මිය යන විට, එම වගකීම අමෙරිකාව මත පටවා ජාත්‍යන්තර අනුකම්පාව ලබා ගැනීමට පාලකයන් උත්සාහ කරන බවට ජනතාව චෝදනා කරති. ටෙහෙරාන් අගනුවර වෙසෙන ජනතාව බෝම්බ ප්‍රහාරවලින් බේරීම සඳහා කුඩා නගර වෙත පලා යාමට උත්සාහ කළද, පවතින මාර්ග බාධක සහ මර්දනය හමුවේ ඔවුන් දැඩි අසරණභාවයට පත්ව සිටිති.
“අපට නිදහස අවශ්‍යයි, අපේ පවුල්වල රුධිරය වෙනුවෙන් පාලකයන් වන්දි ගෙවිය යුතුයි. නමුත් අද උදෑසන සිට මා දකින වීඩියෝවලින් මගේ හදවත කැබලිවලට කැඩෙනවා… බෝම්බවලින් මියයන අපේ දරුවන් ආපසු ගේන්නේ කවුද?” යැයි ටෙහෙරාන් නුවර පදිංචි හිටපු මාධ්‍යවේදියෙකු පවසා සිටියේය. ආර්ථික සම්බාධක සහ පාලකයන්ගේ දූෂණය නිසා තරුණ පරපුරට අනාගතයක් නොමැති වී ඇති පසුබිමක, මෙම යුද්ධය තමන්ගේ රටට සහ සංස්කෘතියට සිදුකරන විනාශය පිළිබඳව ඉරාන වැසියන් දැඩි කම්පනයකින් පසුවෙති.















