අමෙරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාර හමුවේ ඉරානයේ සිවිල් වැසියන් අවම වශයෙන් 200ක් පමණ මේ වන විට මියගොස් ඇති බව මානව හිමිකම් සංවිධාන වාර්තා කරයි. ඉරාන රතු අඩසඳ සංගමය පවසන්නේ රට පුරා මියගිය මුළු සංඛ්‍යාව 555ක් බවයි. කෙසේ වෙතත්, නෝර්වේ රාජ්‍යය පදනම් කරගත් ‘හෙන්ගෝ’ (Hengaw) මානව හිමිකම් කණ්ඩායම පවසන්නේ යුද්ධයේ තෙවන දිනය වන විට මියගිය සංඛ්‍යාව 1,500 ඉක්මවා ඇති බවත්, ඉන් 1,300ක්ම ආරක්ෂක අංශ සාමාජිකයන් බවත්ය. විශේෂයෙන්ම දකුණු ඉරානයේ මිනාබ් ප්‍රදේශයේ බාලිකා ප්‍රාථමික පාසලකට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් දරුවන් ඇතුළු 150කට අධික පිරිසක් මියයාම දැඩි කම්පනයක් ඇති කර තිබේ.
යුද ප්‍රහාර මධ්‍යයේ ඉරාන පාලනාධිකාරිය සිය වැසියන් වෙත ජංගම දුරකථන පණිවුඩ හරහා දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කරමින් සිටින බව වාර්තා වේ. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) බුද්ධි අංශය මගින් නිකුත් කර ඇති පණිවුඩවල දැක්වෙන්නේ, වීදිවලට පැමිණීම හෝ ඕනෑම ආකාරයක මහජන ඒකරාශී වීමක් “සතුරාට සෘජුව සහාය දැක්වීමක්” ලෙස සලකා දඬුවම් කරන බවයි. පාලන තන්ත්‍රය පෙරළා දැමීමට උත්සාහ කරන පිරිස් මැඩපැවැත්වීම සඳහා මෙවැනි දැඩි වාරණ පනවා ඇති අතර, පවතින අන්තර්ජාල බාධා කිරීම් හේතුවෙන් තොරතුරු හුවමාරු කර ගැනීම ද දැඩි ලෙස සීමා වී ඇත.
පාලන තන්ත්‍රයට එරෙහිව සිටින සිවිල් වැසියන් පවසන්නේ, රජය හිතාමතාම සිය මිලිටරි කඳවුරු ජනාකීර්ණ ප්‍රදේශ අසල පිහිටුවා ඇති බවයි. මේ නිසා අමෙරිකානු ප්‍රහාරවලින් සිදුවන සිවිල් මරණ පෙන්වා දෙමින් ට්‍රම්ප් පාලනයට එරෙහිව ජාත්‍යන්තර මතයක් ගොඩනැගීමටත්, වැසියන් බියගන්වා නිවෙස් තුළම රඳවා ගැනීමටත් පාලකයන් උත්සාහ කරන බවට ඔවුන් චෝදනා කරති. “අපිට නිදහස අවශ්‍යයි, ඒත් බෝම්බවලින් අපේ දරුවන් සහ නගර විනාශ වන එක දකින්න අපිට බැහැ,” යනුවෙන් ටෙහෙරාන් නුවර වැසියෝ සිය වේදනාව ප්‍රකාශ කරති. ඉහළ යන ජීවන වියදම සහ මර්දනය හමුවේ අසරණ වී සිටින ඉරාන වැසියෝ දැන් පසුවන්නේ බෝම්බ සහ සිය පාලකයන්ගේ මර්දනය යන දෙකටම මැදිවූ බියකරු වාතාවරණයකය.














