ඇමරිකානු ප්‍රහාර ආරම්භ වී මාසයක් ගතවන තැන ඉරාන සිවිල් වැසියන් දැඩි ආහාර හිඟයකට සහ මානසික පීඩනයකට ගොදුරු වී සිටින බව වාර්තා වේ. ආරක්ෂක හේතූන් මත නම් හෙළි නොකළ ටෙහෙරාන් නුවර තරුණියක පවසන්නේ නොනවත්වා එල්ල වන බෝම්බ ප්‍රහාර හේතුවෙන් තමන්ට දින ගණනාවකින් නිසි නින්දක් ලැබී නොමැති බවයි. යුද්ධය නිසා රැකියා අහිමි වීම සහ වෙළඳපොළේ ආහාර මිල 60% කට වඩා වැඩි අගයකින් ඉහළ යාම හේතුවෙන් එරට සාමාන්‍ය ජනතාව දැඩි අසරණභාවයට පත්ව සිටිති.
යුද්ධයේ බිහිසුණු බව විදහා දක්වන තොරතුරු රෝහල් ආරංචි මාර්ගවලින් ද වාර්තා වේ. ටෙහෙරාන් නුවරට නුදුරු රෝහලක සේවය කරන හෙදියක පවසන පරිදි ප්‍රහාරවලින් විකෘති වූ මළ සිරුරු සහ තුවාලකරුවන් දිනපතා රෝහල් වෙත රැගෙන එනු ලබයි. එක් අවස්ථාවක ප්‍රහාරයකින් නිවසක් විනාශ වීම නිසා දරු ප්‍රසූතියට මාස දෙකක් පමණ තිබූ ගැබිනි මවක සහ ඇයගේ කුස තුළ සිටි බිළිඳා ද මියගොස් ඇති අතර, එවැනි සිදුවීම් හේතුවෙන් සෞඛ්‍ය සේවකයින් පවා දැඩි කම්පනයට පත්ව සිටිති. දැනටමත් ඉරානය තුළ ඖෂධ හිඟයක් ද ආරම්භ වී ඇති බව ඇය පෙන්වා දෙයි.
මේ අතර ඉරාන රජය විසින් එරට තුළ පවතින ජනතා විරෝධතා දැඩි ලෙස මර්දනය කරමින් සිටී. වීදි මුර සංචාර සඳහා ආරක්ෂක අංශ යොදවා ඇති අතර විරෝධතාවලට සම්බන්ධ වන පිරිස් අත්අඩංගුවට ගැනීම සහ වධහිංසා පැමිණවීම් සිදුවන බව ද වාර්තා වේ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය “ගල් යුගයට ඇද දමන බවට” කරන තර්ජන හමුවේ, තමන්ට හිමිවීමට නියමිත අනාගතය පිළිබඳව ඉරාන වැසියන් පසුවන්නේ දැඩි බියකින් සහ අවිනිශ්චිතතාවයකිනි.















