ඉරාන දකුණු වෙරළ තීරයට ඔබ්බෙන් පිහිටි හෝමූස් දූපත අසලදී ‘සතුරු’ F-15 ප්‍රහාරක යානයක් සිය ගුවන් ආරක්ෂක පද්ධති මගින් බිම හෙළූ බව ඉරාන හමුදාව අද (22) ප්‍රකාශ කළේය. ඉරානයේ ෆාර්ස් පුවත් සේවය වාර්තා කරන පරිදි, මෙම ප්‍රහාරය සඳහා ඔවුන්ගේ දේශීය නිෂ්පාදිත පොළොවෙන් ගුවනට විදින මිසයිල පද්ධතියක් භාවිතා කර ඇති අතර අදාළ යානය ඉලක්ක කර ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් ද සාක්ෂි ලෙස ඔවුන් මුදා හැර තිබේ.
ඉරානය මෙම ප්‍රකාශය කළද ඇමරිකා එක්සත් ජනපදය හෝ කලාපයේ අනෙකුත් මිත්‍ර රටවල් මෙතෙක් එවැනි යානයක් අහිමි වූ බවට නිල වශයෙන් තහවුරු කර නොමැති අතර ඇමරිකාවට අමතරව ඊශ්‍රායලය, සෞදි අරාබිය සහ කටාර් රාජ්‍යය ද F15 ප්‍රහාරක යානා සිය ගුවන් හමුදාවන්හි භාවිත කරයි. මෙම පුවත සත්‍ය වුවහොත් වත්මන් යුදමය වාතාවරණය තුළ ඉරානය විසින් බිම හෙළන ලද හයවැනි ඇමරිකානු ප්‍රහාරක යානය මෙය වනු ඇති බව විශ්ලේෂකයෝ පවසති.














