පර්සියානු ගල්ෆ් කලාපයේ ඉරාක මුහුදු සීමාව තුළ නැංගුරම් ලා තිබූ විදේශීය තෙල් නැව් දෙකකට එල්ල වූ ප්‍රහාරයකින් එක් අයෙකු මියගොස් තවත් 38 දෙනෙකු බේරාගෙන ඇති බව ඉරාක වරාය අධිකාරිය තහවුරු කරයි. ඉරාක වරාය සමාගමේ අධ්‍යක්ෂ ජනරාල් ෆර්හාන් අල්-ෆර්ටුසි (Farhan al-Fartousi) පවසන පරිදි, ගිනිගත් නැව්වල සිටි විදේශීය ජාතිකයන් 38 දෙනෙකු බේරාගැනීමට සහන සේවා කණ්ඩායම් සමත් වී තිබේ. කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය හේතුවෙන් තෙල් වරායන්හි මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.
මෙම ප්‍රහාරයේ වගකීම ඉරානය විසින් නිල වශයෙන් බාරගෙන ඇති අතර, දිය යට ධාවනය වන ඩ්‍රෝන යානයක් (underwater drone) භාවිතයෙන් මෙම නැව් දෙක පුපුරුවා හැරි බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. එහෙත් බස්රා නුවර ඉරාක ආරක්ෂක අංශ පවසන්නේ පුපුරණ ද්‍රව්‍ය රැගත් ඉරාන බෝට්ටුවක් නැව්වල ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට සැක කරන බවයි. ඉරාක ස්වෛරීභාවය උල්ලංඝනය කරමින් එල්ල වූ මෙම ප්‍රහාරයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ඉරාක හමුදා ප්‍රකාශක ලුතිනන් ජනරාල් සාද් මාන් (Saad Maan) අවධාරණය කළේය.
ප්‍රහාරයට ලක්ව ඇත්තේ මෝල්ටා රාජ්‍යයට අයත් ‘Zefyros’ සහ මාෂල් දූපත්වල ලියාපදිංචි ‘Safesea Vishnu’ යන නෞකා දෙකයි. මෙයින් ‘Safesea Vishnu’ නෞකාවේ හිමිකාරිත්වය ඇමරිකානු සමාගමක් සතු වන අතර අනෙක් නෞකාව ග්‍රීක සමාගමකට අයත් වේ. ප්‍රහාරය හේතුවෙන් නැව්වලින් තෙල් කාන්දු වී මුහුද පුරා ගින්න පැතිර යන ආකාරය දැක්වෙන දර්ශන මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී.














