ටෙහෙරාන් අගනුවර පිහිටි ඉන්ධන ගබඩා ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් සිදු වී ඇති විනාශය “පරිසර සංහාරයක්” (Ecocide) ලෙස ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි හඳුන්වා දී තිබේ. මෙම ප්‍රහාර මඟින් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය වී ඇති බවත්, ඉරාන අගනුවර වෙසෙන ජනතාවගේ සෞඛ්‍යයට සහ යහපැවැත්මට ඉන් දිගුකාලීන බලපෑම් එල්ල වන බවත් ඔහු අවධාරණය කළේය. එක්ස් (X) සමාජ මාධ්‍ය ජාලය හරහා අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, පස සහ භූගත ජලය අපවිත්‍ර වීම හේතුවෙන් ඉදිරි පරම්පරා ගණනාවකට මෙහි අහිතකර ප්‍රතිඵල විඳීමට සිදුවනු ඇති බවයි.
මෙම ක්‍රියාවන් යුද අපරාධ ගණයට වැටෙන බවත්, ඒ වෙනුවෙන් ඊශ්‍රායලයට අනිවාර්යයෙන්ම දඬුවම් පැමිණවිය යුතු බවත් විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. පසුගිය සිකුරාදා ඊශ්‍රායලය සහ අමෙරිකාව එක්ව ඉරානයේ ප්‍රධාන තෙල් පර්යන්තයක් පිහිටි කාර්ග් දූපතට (Kharg Island) සහ ටෙහෙරාන් නුවරට ප්‍රහාර එල්ල කළ අතර, ඉන් සිදුවූ හානිය ප්‍රදර්ශනය කිරීම සඳහා ඉරාන රජය ඊයේ මාධ්‍යවේදීන්ට අවස්ථාව ලබා දී තිබුණි. එහිදී පෙනී ගියේ පොලිස් ස්ථාන සහ සිවිල් පදිංචි මහල් නිවාස පවා මෙම ප්‍රහාරවලින් දැඩි ලෙස විනාශ වී ඇති බවයි.














