දකුණු ලෙබනනයට සහ බේරූට් නුවර තදාසන්න ප්‍රදේශවලට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාර “ම්ලේච්ඡ” ක්‍රියාවන් ලෙස හඳුන්වමින් ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගායි (Esmaeil Baghaei) අද (02) දැඩි විරෝධය පළ කළේය.
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ මරණයට පළිය ගැනීමක් ලෙස හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කළ අතර, ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය බේරූට් නුවරට දරුණු ප්‍රහාර එල්ල කර තිබේ. මෙම ප්‍රහාරවලින් පුද්ගලයන් 31 දෙනෙකු මියගොස් 149 දෙනෙකු තුවාල ලබා ඇති බව ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි.
ඉරානය පෙන්වා දෙන්නේ 2024 නොවැම්බර් මාසයේ ඇති කරගත් සටන් විරාම ගිවිසුම ඊශ්‍රායලය විසින් බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවයි. ඊශ්‍රායලය විසින් ලෙබනනයේ ස්වෛරීභාවයට දිගින් දිගටම හානි කිරීම හමුවේ ජාත්‍යන්තර ප්‍රජාව දක්වන නිහඬතාව “ලැජ්ජා සහගත” බව බගායි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.














